ඉන්න හිතෙන රටක් - යන්න හදන පොරක් !

ඉන්න හිතෙන රටක් - යන්න හදන පොරක් !

11 July 2019 10:18 am

මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යම් දේශපාලන පෙරළියකට සූදානමින් සිටින බව වාර්තා වේ. 

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මාස කිහිපයකට පෙර සිටම දැවැන්ත ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කළ ඒ මහතා මේ වනවිට "ඉන්න හිතෙන රටක්", "පන්නරය", "යකඩ මිනිසා" වැනි ආකර්ශනීය ප්‍රචාරණ පාඨ යටතේ එය ඉදිරියට ගෙන යමින් සිටී. 

එක්සත් ජාතික පෙරමුණෙහි කැපී පෙනෙන චරිතයක් මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සිත දිනාගත් පිරිස අතර ඉදිරියෙන්ම සිටින චරිතය වුවත් එජාපය තුළ ඔහුට යා හැකි උපරිම දුර සීමාවට ඔහු පැමිණ ඇති හෙයින් සිය දේශපාලන දිවියෙහි ඉදිරි ඉලක්ක සලකා බලා යම් බරපතළ දේශපාලන තීන්දුවකට චම්පික රණවක මහතා මුල පුරා ඇති බවයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කළේ. 

"ජනාධිපතිවරණයෙදි ඔය කට්ටිය හිතන දේවල් වෙන්නෙ නෑ, එතන වෙන්නෙ වෙනම දෙයක්. අපි මහින්ද මහත්තයාගෙ ගල් ලෙනත් බින්දා. ඉදිරියෙදි බලමු" යනුවෙන් ප්‍රකාශයක් ඒ මහතා විසින් මීට සති කිහිපයකට පෙර මාධ්‍ය හරහා සිදුකර තිබුණු අතර මේ සතිය ආරම්භයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ නව සන්ධානයක් බිහිකිරීම සඳහා චම්පික රණවක මහතා සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. 

චම්පික රණවක මහතාගේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී ඔහු දක්ෂ, හැකියාවෙන් පරිපූර්ණ මෙන්ම සිය අභිමතාර්ථ උදෙසා කැපවීමෙන් යුතුව ස්ථානෝචිතව කටයුතු කරන, එක් පක්ෂයක දීර්ඝ කාලයක් නොසිටින අවස්ථාවාදී චරිතයක් බව මනාව පෙන්නුම් කෙරෙන හෙයින් මෙහි පුදුමයට පත් වීමට දෙයක් ද නොමැති බව පෙනේ.