රතන හිමි කැකුණ තළා ගනිද්දී එජාප ඌරන්ට රජ මඟුල්

රතන හිමි කැකුණ තළා ගනිද්දී එජාප ඌරන්ට රජ මඟුල්

1 June 2019 03:20 am

අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා තනතුරුවලින් ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ පහළින් සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු පැමිණීම සඳහා ලහිලහියේ සූදානම් වන බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

අසාද් සාලි යනු ජනාධිපතිවරයාගේ අතිශය විශ්වාසවන්තයකු වන අතර එහි තරම කොතරම්දයත් ජනාධිපතිවරයා ඔහුව ආරක්ෂක මණ්ඩල රැස්වීමට පවා සහභාගී කරවා ගනී. එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාට ද ජනාධිපතිවරයා දිස්ත්‍රික්ක දෙකක සම්බන්ධීකරණ කමිටු සභාපතිකම් ලබාදුන්නේ මේ සතියේදීමය. ඒ, ඔහුව ඉවත් කරන ලෙස අතුරලියේ රතන හිමි ප්‍රසිද්ධියේ බලපෑම් කර තිබියදීය.

එහෙයින් රිෂාඩ් බදූර්දීන් පසෙකින් තැබුවත් මේ දෙදෙනා නම් කිසිසේත්ම ජනාධිපතිවරයා විසින් ඉවත් නොකෙරෙනු ඇති බව එජාප ජාතික ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයින්ගේ මතය වී තිබේ.

එසේම අද මෙතන - හෙට අතන වශයෙන් තැන තැන සිටින රතන හිමි ද මේ වනවිට ජනාධිපතිවරයා සමීපයේ සිටියත් හෙට කොතැන සිටීවිදැයි විශ්වාස කළ නොහැකි නිසා ජනාධිපතිවරයා එහිමිගේ තර්ජනය එතරම් ගණන් නොගනු ඇතැයි ද එජාප පිරිස් ගණන් බලා තිබේ.

අනෙක් අතින් අතුරලියේ රතන හිමි පසුගිය දින කිහිපයේ මාධ්‍ය ඉදිරියේ හැසිරුණු අන්දමත් විශේෂයෙන් මින් ඉදිරියට රට පාලනය කරන්නේ තමන් විසින් බවට කරන ලද ප්‍රකාශය මෙන්ම එහිමි උපවාසය ආරම්භ කළ සැණින් "රතන හිමි ජීවිත පරිත්‍යාගයට සූදානම්" යනුවෙන් මාධ්‍යවල පළවූ පුවතුත් නිසා රතන හිමියන්ට ද ආපසු හැරීමට හැකියාවක් නොමැති බවත් මෙය රතන හිමිගේ දිවියේ තීරණාත්මක මොහොත වනු ඇති බවත් ඔවුන් නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව උපවාසය කෙළවර වනු ඇත්තේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස්වීමෙන් බවට නිගමනය කර ඇති ඔවුන් දැන්ම තියා තරගයක් දී පාර්ලිමේන්තුවට පිවිසීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වූයේ.

RN