අරලිය මන්දිරේ කට්ටිය ගෙදර යන්න බඩු පැක් කරයි !

අරලිය මන්දිරේ කට්ටිය ගෙදර යන්න බඩු පැක් කරයි !

13 November 2018 03:13 pm

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව අහෝසි කර මහ මැතිවරණයක් කැඳවීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය ලබන 07 වැනිදා දක්වා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග මේ වනවිට අරලිය ගහ මන්දිරය දැඩිලෙස කාර්යබහුල වී තිබෙවාලු. ඒ සති කිහිපයක් තිස්සේ අරලියගහ මන්දිරයට වී සිටි පිරිස් ඉන් ඉවත්වීම සඳහා ලහි ලහියේ සිය බඩුබාහිරාදිය පැක් කරගෙන මන්දිරයෙන් නික්මීමට සූදානම් වන නිසාලු.
අරලිය ගහ මන්දිරය පසුගිය 26 වැනිදා සිට සාමාන්‍ය ජනතාවට, විශේෂයෙන් බිම් මට්ටමේ එජාප පාක්ෂිකයන්ට විවෘත වූ අතර ඔවුන් වැල නොකැඩී අරලියගහ මන්දිරය වෙත ආවේ සිය නායකයා සහ සිය පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. එපමණක් නොවෙ එජාපයට හිතවත් මාධ්‍ය සගයන් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයන් වහ වහා එක්වූයේ 2015 ජනවාරි ජයග්‍රහණය වෙනුවෙන් එක් වූ ආකාරයෙන්මය. ඒ තමන් දිවි නොතකා පිහිටවූ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි.
 
2015 ජනවාරි ජයග්‍රහණය වෙනුවෙන් එක් වූ ඔවුන් පසුව අගමැතිවරයාගෙන් ඈතට විසිවූ අතර සාමාන්‍ය පාක්ෂිකයා අභිබවා ඉංග්‍රීසියෙන් දොඩන ටයිකෝට්කාරයන් අගමැතිවරයාට ලං වූ අතර පසුගිය 26 වැනිදා දක්වා අරලියගහ මන්දිරය අරක් ගෙන සිටියේ ඔවුන්ය. සාමාන්‍ය මිනිසුන් සිටින්නේ ජයග්‍රහණ සැමරීමට නොව ජයග්‍රහණ බිහි කිරීමටයි.
 
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සමගින් දැන් එළඹ ඇත්තේ ඉංග්‍රීසියෙන් දොඩන ටයිකෝට්කාරයන් අරලියගහ මන්දිරයට එක්රොක් වී ජයග්‍රහණ සැමරීමේ වාරයයි. ඒ අනුව රනිල්ගේ ආරක්ෂාව වෙනුවෙන් අරලියගහ මන්දිරයට පැමිණි සියලුදෙනාට දැන් ඉන් එළියට පැමිණීමට කාලය එළඹ තිබේ. මන්ද ටයිකෝට්කාරයන්ට ෂැම්පේන් පානය කරමින් සතුට සැමරීමට ඔවුන්ගේ වාරය ලබාදිය යුතුය. ඒ සඳහා ජයග්‍රහණ බිහි කරන්නන්ට අවස්ථාව නොමැත.
 
මේ එළඹ ඇත්තේ කුස්සි කැබිනට්ටු සාමාජිකයන්ගේ වාරයයි. මලික්ලාගේ, පස්කිලාගේ, රත්වත්ගේලාගේ වාරයයි.
 
අනෙක් තැන මංගලගේ නිළ නිවෙසයි. 2015 ජනවාරි ජයග්‍රහණයෙන් පසුව ඊට උරදුන් මාධ්‍ය හිතවතුන්, සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයන් නැවතත් 26 වැනිදා මංගලගේ නිළ නිවෙසට එක් වූ අතර ඒ නැවතත් සිය කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙනි. දැන් ඔවුන්ගේ වගකීම අවසන්ව ඇති අතර ඔවුන්ටද සිය බඩුමලු පැක් කරගෙන මංගලගෙන් සමු ගැනීමට කාලය එළඹ තිබේ. ඒ වෙනුවට සතුට සැමරීම සඳහා, ජයග්‍රහණය සැමරීම සඳහා පෙර මෙන් ටයිකෝට්කාරයන් මංගල වටා එක්රොක් වනු ඇත.
 
හෙට දිනයේදී එජාප හිටපු ඇමතිවරුන් නැවතත් සිය අමාත්‍යංශ වෙත වාර්තා කිරීමට නියමිත අතර එ් අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එස්. ආටිගල 26 වැනිදා පැළඳගත් කුරහන් පාට ටයිපොල්ල ගලවා දමා කොලපාට ටයි පොල්ලක් පැළඳගෙන මුදල් අමාත්‍යංශයේ දොරටුව ලඟ බුලත් හුරුල්ලක්ද සමග බලා සිටිනු ඇත.