කොනෝ පීපල් කොනෝ මී - එස්. බී.

කොනෝ පීපල් කොනෝ මී - එස්. බී.

3 November 2018 01:42 pm

ඇමති පැනිලි සහ මිලදී ගැනිලි අතරේ අද දවසේ වඩාත් ම කතාබහට ලක්වන චරිතය වී ඇත්තේ හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ය. මහින්ද - මෛත්‍රී දීගයේ කපු කමෙන් වැඩි බර ඇද්දේ එස්. බී. බවයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. මේ කතාව එස්. බී.ගේ ඉංග්‍රීසි පාඩමක් පිළිබඳවය.

 

හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාව නව රජයට මිලදී ගැනීම සඳහා එස්.බී. දිසානායක මහතා බ්‍රෝකර්කමේ නියැළුණු ආකාරය අද දවසේ හඬපටත් සමඟ මාධ්‍ය හරහා රටට හෙළිදරව් කෙරිණි. මින් කලබලයට පත් හඟුරන්කෙත ගම්වාසී සියදෝරිස් මහතා එස්.බී. ඇමති තුමාට ඇමතුමක් ගත්තේ මේ පිළිබඳව පැහැදිලි කරගැනීමටය.

"ඇමතිතුමා, මම සියදෝරිස් මේ කතා කරන්නේ. මොනවද ඇමතිතුමා මේ ආරංචි වෙන කතා ? කෝටි බර ගණං සල්ලිවලට යූ.එම්.පී. එකේ ඇමතිලා ගන්න ගියැයි කියන්නේ ? අන්න අහරෙ රංගේ බණ්ඩාර මහත්තයා ඔබතුමාගෙ පතුරු අරිනවා. මොනවද මේ ?" සියදෝරිස් මහතා ඇසුවේ හැඟීම්බරව ය.

"සියදෝරිස්, කලබල වෙන්න දෙයක් නෑ. ඕකට ඉංග්‍රීසියෙන් හොඳ කතාවක් තියෙනවා. කොනෝ පීපල් කොනෝ මී. ( Know people know me ) මං ගැන දන්නෝ දනිති. ඔය රංගේ බණ්ඩාරලාට, රංජන්ලට මඩ ගහලා මාව වට්ටන්න බෑ" යනුවෙන් එස්.බී. මහතා පිළිතුරුදී තිබිණි.

එස්.බී. දිසානායක මහතා පවසන පරිදි එස්.බී. යනු සුමනවීර බණ්ඩා නොවේ. එස්.බී. යනු අංක එකට ම සිංහල බෞද්ධ යන්නයි. එහෙයින් කොයි ආණ්ඩුවක් ආවත් තමන්ව වට්ටන්නට නොහැක.

අංක දෙකට එස්.බී. යනු ස්ටෑන්ඩ් බයි යන්නයි. ජනපතිකමට, අගමැතිකමට, මුදල් ඇමතිකමට, පක්ෂ ලේකම්කමට, මුදල් හදල් ගනුදෙනුවලට ඔය ඕනෑම එකකට ඕනෑම වේලාවක එස්.බී. ස්ටෑන්ඩ් බයි ය. ආණ්ඩු හදන්නට, ආණ්ඩු පෙරළන්නට ඕනෑම වෙලාවක එස්.බී. ස්ටෑන්ඩ් බයි ය.

කෙසේවෙතත් මෙදා පොටේ ආණ්ඩු පෙරළියෙන් එස්.බීට වෙන්නේ මොනවාද කියා ඉදිරියට බලාගත හැකිවනු ඇත.