පොලිස්පති පූජිත්, රංජිත් මද්දුම බණ්ඩාරගෙන් සුද්ද සිංහලෙන්ම අහගෙන !

පොලිස්පති පූජිත්, රංජිත් මද්දුම බණ්ඩාරගෙන් සුද්ද සිංහලෙන්ම අහගෙන !

2 November 2018 01:33 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා (26) නව අගමැතිවරයා වශයෙන් දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු හමුවීමට ගිය රාජ්‍ය අංශයේ ප්‍රධාන පෙළේ පුද්ගලයා වන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාය. මහින්දගේ දිවුරුම්දීමෙන් පැය කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් මධ්‍යම රාත්‍රියේදීම පොලිස්පතිවරයා ඔහු හමුවට ගොස් ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් ද සමගිනි.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පතිනායක ඇතුලු ඉහළ නිළධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වී තිබේ.
 
මහින්ද රාජපක්ෂලා විපක්ෂයේ සිටියදී ඔවුන්ගේ විවේචනයට බඳුන් වූ ප්‍රධාන පුද්ගලයෙකි, පොලිස්පතිවරයා. සෙසු රජයේ නිළධාරීන් නව අගමැති හමුවීමට පසුබාද්දී පොලිස්පතිවරයා, නීතිය නවනවා යැයි කියමින් පොලීසියට චෝදනා කළ මහින්ද හමුවීමට  කඩිමුඩියේම ගියේ තමාගේ කොන්ද උපරිම නවාගෙන, ලකුණුත් දමාගෙන තවදුරටත් පොලිස්පති තනතුර ආරක්ෂා කර ගැනීමට වියයුතුය. 
 
පොලිස්පතිවරයා ඇතුළු පිරිස මහින්ද හමුවට ගෙනගොස් ඇත්තේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් බවයි වාර්තා වන්නේ. පූජිත් ජයසුන්දර මහතා මහින්ද රාජපක්ෂට සැලියුට් ගසා සියලු ගෞරව දක්වා ඔහු සමග සුහද කතාබහක නිතර වී ඇත.
 
26 වැනි සිකුරාදා පටන් විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිගින් දිගටම පොලිස්පතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇත. ඔහුගේ පෞද්ගලික දුරකතනය මෙන්ම රාජකාරි දුරකතනවලට ද ඇමතුම් පිට ඇමතුම් දුන්නද පොලිස්පතිවරයා ඇමතිවරයා හා සම්බන්ධවීම හිතාමතාම මගහැර තිබේ. අද දහවල් වනතෙක් පොලිස්පතිවරයා සම්බන්ධ කර ගැනීමට දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ බවයි ඇමතිවරයා පවසන්නේ.
 
26 වැනිදා පටන් පොලිස්පතිරයා මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කටයුතු කර ඇති අතර තමන්ගේ විෂය භාර අමාත්‍යවරයා තුට්ටුවකට මායිම් නොකර කටයුතු කර තිබේ.
 
අවසානයේ අද (02) දහවල් සිය ආරක්ෂකයෙකු හරහා දුරකතනයක් යවා පොලිස්පතිවරයා වෙත අදාල දුරකතනය ලබා දී ඒ හරහා පොලිස්පතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන ඇති අතර පූජිත් ජයසුන්දර මහතා එම දුරකතන ඇමතුමට ප්‍රතිචාර දක්වා ඇත්තේ අමතන්නේ කවුරුන්දැයි නොදන්නා බැවිනි. එම ඇමතුම සිය ඇමතිවරයාගෙන් බව දන්නේ නම් ඔහු කුමන දහංගැටයක් දමා හෝ ඉනුදු ගැලවෙනු ඇත.
 
පොලිස්පතිවරයා දුරකතන ඇමතුම ලබා ගැනීමත් සමග ඔහු සමග ඇති කේන්තිය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පිටකර ඇත්තේ පොලිස්පතිට ඉහින් කනින් දාඩිය දමන තුරු සුද්ද සිංහලෙන්ම ඇමතීමෙනි. 
 
'තමුසෙ, දැනගන්නවා තමුසෙ ඒ දවස්වල මගේ ගෙදර ඇවිල්ලා සෙටියෙ වැටිලා ඉන්නවා. මිනිස්ට්‍රියට ආවම මගේ කාමරේ වටේ කැරකි කැරකි ඉන්නවා. එහෙම හිටපු තමුසෙ දැං පෝන් එකටවත් ප්‍රතිචාර දක්වන්නෙ නෑ. තමුසෙට මතක නෑ තමුසෙ හිටියෙ කොහොමද ? ඔය පුටුවට ආවෙ කොහොමද කියලා. තමුසෙ කිසිම කෙලෙහි ගුණයක් දන්නැති එකෙක්. මම කතා කළේ වෙන්නෙ මොනවද කියලා අහන්න මිසක් තමුසෙටවත් පොලීසියටවත් ඕඩර්ස් දෙන්න නෙවෙයි.' යනුවෙන් ඇමතිවරයා දැඩි ස්වරයෙන් පවසා තිබේ.
 
පොලිස්පතිවරයා දැඩි කලබලයට පත්ව සර්...සර්... යනුවෙන් අමතමින් යමක් කීමට උත්සාහ කළද නැවතත් සිය සුද්ධ සිංහල දෙසුම ඇරඹූ ඇමතිවරයා 'තමුසෙ එකක් මතක තියා ගන්නවා. මහින්දලා පටන් ගත්ත නාට්ටිය තවම ඉවර නෑ අයිසෙ. හෙට අනිද්දා වෙනකොට ඕකෙ ප්‍රධාන කැරැක්ටර් එක රඟපාන්නෙ අපි. මොකද වෙන්නෙ කියලා හෙට අනිද්දා වෙනකෙට බලා ගනිමු. අන්න එදාටත් පුලුවන් නං තමුසෙ සතියක් තිස්සෙ කළා වගේම පෝන් ආන්සර් නොකර ඉන්නවා. එතකොට තේරෙයි මොකද වෙන්නෙ කියලා. මහින්දලා, නීතිය නවනවා... නීතිය නවනවා... කියලා තමුසෙට චෝදනා කරද්දි තමුසෙව ගෙදර යවපු නැති නිසා නෙ අද ඔහොම රඟන්නෙ ඉස්සරහට බලමු මොකද වෙන්නෙ' කියමින් දුරකතන ඇමතුම විසන්ධි කර ඇත්තේ පොලිස්පතිවරයාට කිසිවක් කීමට අවස්ථාව ලබා නෙදෙමිනි.