ජනාධිපති සිරිසේනටත් ජොබ් එක නැතිවේවිද ?

ජනාධිපති සිරිසේනටත් ජොබ් එක නැතිවේවිද ?

30 October 2018 01:06 pm

මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරව ඔහුගේ ආධාරකරුවන් රටපුරා හන්දියක් හන්දියක් ගානේ මහින්දගේ බැනර්, කටවුට්, බිල්බෝඩ් එල්ලන්නේ 2015 දී රටේ බහුතර ජනතාව විසින් අමතක කරන්න උත්සාහ කළ අතීතය නැවත සිහිපත් කරන්නාක් මෙනි. ආධාරකරුවන් යැයි කීවාට සත්‍ය ලෙසම මේවා සිදු කරන්නේ මහින්ද වටා සිටින ඔහුගේ හෙංචයියන් විසිනි.
ඇතැම් බැනර් කටවුට්වල සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් බවයි. මේවා අත්වැරදීම් ලෙස සැලකිය හැකි වුවත් මහින්දගේ අතීතය හොඳින් දන්නා අයට නම් ඒවා අත්වැරදීම් නොවේ.
 
මෙම කටවුට් වර්තමානයට කෙසේ වෙතත් අනාගතයට බලපාන්නක් විය හැකිය. මහින්ද රාජපක්ෂ යනු තවත් කෙනෙකුගේ යටතේ සේවය කරන්නට හිත හදාගත හැකි පුද්ගලයෙකු නොවේ. ඒ අනුව අගමැති තනතුරින් නොනැවතී ඉනුදු ඉහළට යන්නට ඔහු බලාපොරොත්තු වනවා නොඅනුමානය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති පුටුවට ද තට්ටු වනවා සිකුරුය.
 
අද කොළඹදී පැවති එක්සත් ජාතික පක්ෂ විරෝධතාවයේදී එක් දේශපාලනඥයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා කොහිල කටු ඇනෙනු ඉවසිය නොහී හැළ කිඹුලෙකුගේ වලට පැන ඇති බවයි.
 
ඒ අනුව දැන් පරෙස්සම් විය යුත්තේ සිරිසේන ජනාධිපතිවරයාය. ඔහුට මින් මතු තමාගේ ජනාධිපති පුටුව රැක ගැනීම හැර දවසේ පත්තර බැලීමටවත් වෙලාවක් ඉතිරි නොවන අතර රාත්‍රී 10 ට නින්දට යාම ද සදහටම අත්හරින්නට සිදු වනවා නොඅනුමානය.