රුපියල අවප්‍රමාණය වීම ගැන එස්. බී. ගෙන් උපදෙස් ගන්න !

රුපියල අවප්‍රමාණය වීම ගැන එස්. බී. ගෙන් උපදෙස් ගන්න !

17 October 2018 09:36 am

ඒ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය දැරූ යුගයයි. රුපියල පාවීම ගැන බොහෝ කතා කෙරුණු ඒ යුගයේදී ඇමරිකානු ඩොලරය ඉදිරියේ රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වෙමින් තිබිණි.

 

දිනක් හඟුරන්කෙත ගම්වාසීන් පිරිසක් එස්. බී. දිසානායක අමාත්‍යවරයා හමුවීමට පැමිණියේ මේ 'රුපියල අවප්‍රමාණය වීම' ගැන පැහැදිලි කර ගැනීමට ය.

"ඉන්ඩකෝ මං ඕක ගැන තේරුම් කරලා දෙන්න" යනුවෙන් එස්. බී. දිසානායක මහතා කතාව ඇරඹීය.

"දැන් මේ පියවතී ඉන්නවානෙ. පියවතීගෙ ළමයා ඉන්නෙ රට නේද ? ඒ ළමයා රට ඉඳන් ඩොලර් කීයක් විතර එවනවද ?" එස්. බී. ඇසීය.

"ඩොලර් තුන් සීයයි මහත්තයෝ" පියවතී පිළිතුරු දුන්නා ය.

"ඒ ඩොලර් තුන්සීයට ඉස්සර ලැබුණේ කීයද ? රුපියල් දහ අට දාහයි. දැන් අපේ ආණ්ඩුවෙන් ඒ ඩොලර් තුන් සීයට රුපියල් විසි හතර දාහක් ගෙවන්නයි යන්නේ. ඉතිං ඒක හොඳ නැද්ද ? නරකයිද ?? හොඳ නැත්තං කියන්න අපි මේක නවත්තලා දාමු !" එස්. බී. ඇඟට පතට නොදැනී පැවසීය.

මඳ වෙලාවක් මුණු මුණු ගෑ ගැමියෝ "අනේ අම්මපා ඇත්ත නේන්නං, මේක හොඳයිනේ. මිනිස්සු මේ බොරුවට නේ කෑගහන්නේ. තව පොඩ්ඩෙන් මාර විනාසයක් වෙන්නේ මේක නැවතිලා" යි කියමින් සතුටින් නික්ම ගියෝය.

එදා මෙදාතුර රුපියල අවප්‍රමාණය වීම ගැන ජනප්‍රිය ම කතාව කීවේ මහාචාර්ය තිලක් රත්නකාර විසිනි. "එදත් රුපියලට ශත සීයයි, අදත් රුපියලට ශත සීයයි. කොහෙද රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ ?" යි ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් රුපියල නැවතත් වේගයෙන් අවප්‍රමාණය වන අද දවසේත් ඒ ගැන පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවට එස්. බී. දිසානායකගෙන් උපදෙස් ගැනීමට හැකියාව ඇත. මංගල සමරවීරට වඩා ඊට ඉහළින් ම සුදුසු එස්. බී. ය.