වැසිකිලිත් ඕනෙ නං කලින් කියන්නෙපැයි ඉතිං - රාජ්‍ය නිළධාරීන්ගේ අමුතු කතා !

වැසිකිලිත් ඕනෙ නං කලින් කියන්නෙපැයි ඉතිං - රාජ්‍ය නිළධාරීන්ගේ අමුතු කතා !

18 September 2018 10:44 am

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සිය දෙපාර්තමේන්තුවට දුම්රිය ධාවන මැදිරි ආනයනය කළේය.

සාමාන්‍යයෙන් දුම්රිය මැදිරි ආනයනය කිරීමේදී දුම්රිය මගීන්ගේ සුව පහසුව සැලකිල්ලට ගන්නා අතර වැසිකිලි/කැසිකිලි පහසුකම් සහිත දුම්රිය මැදිරි ආනයනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. මන්ද දුම්රිය යනු බොහෝදෙනා දිගු ගමන් යාම සඳහා භාවිතා කරන ප්‍රවාහනය සේවයයි. එහිදී සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමකි.

කෙසේ වෙතත් මෙවර ආනයනය කර ඇති දුම්රිය මැදිරිවල වැසිකිලි පහසුකම් නැත. ඒ අනුව මෙම මැදිරි ආනයනය කිරීමේදී දුම්රිය මගීන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් හෝ සැලකිල්ලක් දක්වා නොමැත.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ වැසිකිලි පහසුකම් සහිත මැදිරි අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් පිරිවිතර ලේඛනවල ඒ බව සඳහන් කළ යුතු බවයි. මෙම මැදිරි ආනයනයට අදාල පිරිවිතරයන්හි එවැන්නක් සඳහන්ව නොතිබූ බව ඔවුන් පවසා තිබෙනවා.

'වැසිකිලිත් එක්ක ඕනෙ නං ඒක පිරිවිතරවල සඳහන් කරන්න එපැයි. එහෙම නැතුව කොහොමද වැසිකිලි තියන දුම්රිය මැදිරි ආනයනය කරන්නේ' මේ එම බලධාරීන්ගේ පිළිතුරයි.

වැසිකිලි සහිතව මැදිරි ආනයනය කළයුතු බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත. අඩුගානේ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් නිකමට හෝ පැය හත-අටක දුම්රිය ගමනක නිරත වී ඇත්නම් මගී දුම්රිය මැදිරි සඳහා වැසිකිලි අත්‍යවශ්‍ය බව පැහැදිලි වනු ඇත. එක්කෝ මෙම බලධාරීන් කිසිදු දිනෙක දුම්රිය ගමනක් ගොස් නොමැත, නැත්නම් සාමාන්‍ය ජනතාවට ඇතිවන හදිසි අවශ්‍යතා මෙම බලධාරීන්ට ඇතිවන්නේ ම නැත.

පසුගිය යුද සමයේදී ද මෙවැනි සිදුවීමක් වාර්තා විය. ආරක්ෂක අංශවලට අවශ්‍ය හෙලිකොප්ටර් කිහිපයක් ආනයනය කළ අතර වර්ෂා සමයේදී එම හෙලිකොප්ටර් භාවිත කළ නොහැකි තත්වයට පත්විය. අදාල හෙලිකොප්ටර් ආනයනය හා සම්බන්ධ බලධාරීන්ගෙන් විමසීමේදි ඔවුන් ලබා දී තිබුණේ අපූරු පිළිතුරකි.

'වැස්ස කාලෙදි පාවිච්චි කරන්න පුළුවන් ඒවා ගේන්න කිව්වෙ නෑ නේ. ඒවා ඉතිං පිරිවිතරවල හරියට සඳහන් කරන්නෙපැයි'

මෙම බලධාරීන් පිළිතුරු දෙන්නේ කුඩා ළමයෙකු යමක් ගෙන ඒමට කඩයට යැවූ විට කුඩා දරුවා සිදුකරන අතපසු කිරීමකදී එම දරුවා තම වැරැද්ද සාධාරණීකරණය කරන ආකාරයෙනි.

නමුත් ඇත්ත තත්ත්වය නම් මෙම බලධාරීන් රටේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේදී සලකා බලන ප්‍රමුඛතම කාරණය වන්නේ සිය සාක්කුවට වැටෙන මුදල් ප්‍රමාණය පිළිබඳවයි. වැඩිපුරම කොමිස් ලැබෙන්නේ කුමන රටකින්ද, කුමන ආයතනයකින්ද යන්න මිස අදාල භාණ්ඩය රටට, ජනතාවට කෙතරම් ගැලපෙන්නේද වැය කරන මුදලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ මොනවාද, කෙතරම් කාලයක් භාවිතා කළ හැකිද යන්න ඔවුන්ට අදාල නැත.

තමන්ගේ සාක්කුව පිරෙන්නේ නම් ඕනෑම කුණු ගොඩක් රටට ගෙන ඒමට පමණක් නොව ඒවා සාධාරණීකරණය කිරීමට ද අපේ බලධාරීන් ඉතා දක්ෂය.