අපේ හාමුදුරුවෝ සහ බුදු හාමුදුරුවෝ

අපේ හාමුදුරුවෝ සහ බුදු හාමුදුරුවෝ

14 September 2018 08:09 am

මෙරට ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය. දේශපාලන ක්ෂේත්‍රයේ විටින් විට කතාබහට ලක්වන මෙම භික්ෂූන් වහන්සේ ඕස්ට්‍රේලියාවට ගොස් නවාතැන් ගෙන සිටියේ සිය හිතවතෙකුගේ නිවෙසකයි.

ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය අනුව හැඩගැසී දිවි ගෙවන අදාල නිවෙස් හිමියන්ගෙන් ඉහත කී භික්ෂූන් වහන්සේට විශේෂ සැලකිලි නොලැබුණු අතර නිවෙස් හිමියන්ට උන්වහන්සේ තවත් සාමාන්‍ය ආගන්තුකයෙකු පමණක් විය. ඒ නිසා සුදු ඇතිරිලි සහිත ආසන පැනවීම, දානය පිළිගැන්වීම වැනි විශේෂ සැලකිලි දැක්වීමක් සිදු නොවූ අතර එය ගැටලුවක් නොවූයේ අපගේ කතා නායකයා ද එවැනි විශේෂ සැලකිලි බලාපොරොත්තු නොවන පුද්ගලයෙකු වීමයි.

නිවෙස් හිමියන් දහවල් ආහාර ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ ආගන්තුකයා වන භික්ෂූන් වහන්සේට ද ඒ සඳහා ආරාධනා කළ අතර සියලු දෙනා එක්ව එකම මේසයකට වාඩි වී ආහාර ගැනීම ආරම්භ කළහ. එක්වරම කලබලයට පත් වූ භික්ෂූන් වහන්සේ නැගිට පිඟානක් ගෙන මේසය මත තිබූ ආහාරවලින් ස්වල්පය බැගින් බෙදන්නට වූ අතර නිවෙස් හිමියන්ට මෙය ගැටලුවක් විය. ඒ පිළිබඳව විමසූ නිවෙස් හිමියන්ට භික්ෂුව ප්‍රකාශ කළේ 'බුද්ධ පූජාව තියන්න අමතක උනා නෙ මහත්තයෝ.. අපි බුද්ධ පූජාව පූජා කරලම ආහාර ගනිමු' කියාය.

ඉන්පසු බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසුව සියලු දෙනා එක්ව ආහාර අනුභව කළේය.

ආහාර අනුභවයෙන් පසුව සියලු දෙනා ආගිය තොරතුර කතා බහ කරමින් සිටි අතර ක්‍රමයෙන් රෑබෝ වීමට පටන් ගත්තේය. භික්ෂූන් වහන්සේ විසිත්ත කාමරයේ සිටියදී නිවසේ රාත්‍රී ආහාරය පිළියෙල කෙරුණු අතර නිවෙස් හිමියන් රාත්‍රී ආහාරය ලබාගැනීමට මේසයට වාඩි විය. භික්ෂූන් වහන්සේ බලා සිටියේ ආහාර ගැනීම සඳහා 'දැන් කතා කරයි දැන් කතා කරයි' කියා සිතමිනි.

එහෙත් නිවෙස් හිමියන්, අපගේ කතා නායකයන් නිවසේ සිටින බවක් හෝ නොදැන මෙන් රාත්‍රී ආහාර අනුභව කළ අතර, ටිකවෙලාවක් බලා සිටි භික්ෂූන් වහන්සේ තවදුරටත් ඉවසා ගත නොහැකිව ආරාධනාවකින් තොරවම රාත්‍රී කෑම මේසයේ හිඳගත්තේ 'ආ... මහත්තයෝ කමු එහෙනං නේද' කියමිනි. මින් නිවෙස් හිමියන් කලබලයට පත්වූ අතර 'අපේ හාමුදුරුවනේ, සමාවෙන්න අපෙන් වැරැද්දක් උනා නං. සාමාන්‍යයෙන් හාමුදුරුවරු රෑට වළඳන්නේ නෑ නේ. ඒකයි ඔබවහන්සේට ආරාධනා නොකළේ. අපි දැනගෙන හිටියෙ නෑ ඔබවහන්සේ රෑට දාන වළඳනවා කියලා. ඒක නිසා ඉතිං විශේෂ දෙයක් හැදුවෙත් නෑ' යනුවෙන් ප්‍රකාශ කළේය.

'ආ ඒකට කමක් නෑ මහත්තයෝ. ඔන්නොහෙ තියන දෙයක් කමු. දැං ඉතිං හාමුදුරුවරු රෑට කන එක සාමාන්‍ය දෙයක්, ඕක ඉතිං ඒ හැටි වැරැද්දක් නෙවෙයි නේ' කියමින් ආහාර ගැනීම ආරම්භ කළේය.

ටික වේලාවකට පසු මේසයේ සිටි පුද්ගලයෙකු හදිසියේ යමක් මතක් වූ අයුරින් ප්‍රකාශ කළේ 'අපොයි දෙයියනේ ආයෙත් බුද්ධ පූජාව තියන්න අමතක උනා නේද' යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අප කතානායකයන් වහන්සේ 'හා හා මහත්තයෝ..... රෑට බුද්ධ පූජාව තියන්නෙ නෑ නේ. පව් සිද්ධවෙන කතා කියන්න එපා. අපි ඔය රෑට මොනවා හරි පොඩ්ඩක් වැළඳුවට බුදු හාමුදුරුවෝ රෑට කිසි දෙයක් වළඳන්නේ නෑ නේ' කියමින් සිය පිඟාන දෙස බලාගෙනම සිටියේ කෑම මේසයේ සිටි සියලු දෙනාගේ මුවගට සිනාවක් නංවමිනි.