ලෝකයම මුස්ලිම් ආගමට හැරවීමට අන්තවාදීන් ක්‍රියා කරනවා - ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා

ලෝකයම මුස්ලිම් ආගමට හැරවීමට අන්තවාදීන් ක්‍රියා කරනවා - ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා

20 May 2019 10:30 am

අගරදගුරු පදවියේ ජනමාධ්‍යය හැසිරවීම සහ කාදිනල්තුමාගේ නිවේදන ජනමාධ්‍යය වෙත නිකුත් කරනු ලබන ආයතනයේ අධ්‍යයක්ෂ ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා සමඟ වත්මන් සමාජ දේශපාලනික හා රටේ උද්ගතව පවතින ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් අඩවිය විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාව පහත පළ වේ.

 

ඔබ විසින් සිදු කරන ලද කිසියම් හෝ ප්‍රකාශයක් ඕනෑම අවස්ථාවකදී කාදිනල්තුමාගේ පණිවිඩයක් හෝ මතයක් නැතිනම් හුදු අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් කාදිනල්තුමාගේ ප්‍රකාශය වශයෙන් භාර ගැනීමට තිබෙන තත්වය කුමක්ද?

කාදිනල්තුමාට කිසියම් හෝ ප්‍රකාශයක් නිකුත් කිරීමට අවශ්‍යය නම් කාදිනල්තුමා ලිඛිතව මට එය භාර දෙනවා. එසේ නොමැතිව මා කිසියම් හෝ දෙයක් ප්‍රකාශ කරන අවස්ථාවක මම එය ප්‍රකාශ කරන්නේ මගේ තනතුරට තිබෙන වගකීම ඇසුරෙනුයි. කාදිනල්තුමාගේ ප්‍රකාශ නිකුත් කරද්දි මම අධ්‍යයක්ෂක ලෙස ඒවා ලිඛිතවම ජනමාධ්‍යය වෙතට යොමු කරනු ලබනවා. ඒ වගේම කිසියම් හෝ ප්‍රශ්නයක් උද්ගතවුවහොත් කාදිනල්තුමා වෙනුවට මාධ්‍යය වෙත අදහස් දැක්වීම සිදු කරනවා.

පසුගිය 21 වෙනි ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වශයෙන් ඔබතුමන්ලා සමස්ථ රටේ මහජනතාව වෙනුවෙන්ම කිසියම් හෝ විශේෂ පණිවිඩයක් නිකුත් කරනු ලැබුවාද?

21 වෙනි ඉරිදා අපි මාධ්‍යය හමුවක් කැදවූවා කොළඹදි. එම අවස්ථාවේ මම හිටියෙ මීගමුවෙ. එම මාධ්‍යය හමුවේදී කාදිනල්තුමාම කතෝලික ජනතාවටත් රටේ සමස්ථ ජනතාවටත් උන්වහන්සේ දිය යුතු පණිවිඩය ලබා දුන්නා. ඒ පණිවිඩය තුළ විශේෂයෙන්ම අන්තර්ගත වුණේ මේ අවස්ථාවේදී උන්වහන්සේට තේරෙන පරිදි මෙය ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් එම නිසා මුස්ලිම් ප්‍රජාවට අත් උස්සන්න එපා කියන අදහසයි. එම ත්‍රස්තවාදී කණ්ඩායම හොයලා ඔවුන්ට දඩුවම් කිරීමට අපි ආරක්ෂක අංශවලට උපකාර කරමු කියලා කාදිනල්තුමා එම අවස්ථාවේදී ඉතාමත්ම පැහැදිළිව හා සාමකාමීව ප්‍රකාශකොට තිබෙනවා.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ වෙබ් අඩවිය විසින් ප්‍රහාරයට පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා ඔවුන් ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට. එමෙන්ම ඔවුන් එහි දක්වා තිබුණා මෙය පළිගැනීමක් බව. නමුත් පළිගැනීමට හේතුවක් ඔවුන් දක්වා තිබුණෙ නෑ. ඔබතුමා හිතන විදියට මෙම පළිගැනීම මොකක් වෙන්න ඇතිද?

මම දන්න හේතුව තමයි...., ඇත්තටම ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවලත් ඔවුන් මේ දේවල් කළා. බොහොමයක් අවස්ථාවලදි කතෝලික දේවස්ථානවලට කතෝලික ප්‍රජාවට විරුද්ධව තමයි ඒවා කළේ. එම නිසා නිශ්චිතවම කියන්න බැහැ ඒ දේවල් කරන්නෙ ඇයි කියලා. නමුත් අපිට පේනවා ඔවුන්ට එක් අරමුණක් තියෙනවා මුළු ලෝකයම මුස්ලිම් කරන්න. දැනට ලෝකයේ වැඩිපුර ඉන්නෙ ආගමක් හැටියට ක්‍රිස්තියානි ජනතාවයි. ඒ අයගේ සංඛ්‍යාව කිසියම් හෝ ආකාරයකින් අඩු කෙරුවොත් එතැනදි මුස්ලිම් ප්‍රජාව සංඛ්‍යාත්මකව පළවෙනි තැනට එනවා. ඒක ඒ අයට ලොකු රුකුලක් වෙන නිසා මේ දේ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ස්ථීරව මෙතෙක් ඒ කව්රුත් ප්‍රකාශ කරලා නෑ.

ඇත්තටම ෆාදර් මේ මුස්ලිම් සහ ක්‍රිස්තියානිය අතර තියෙන ආගමික අර්බුදය මොකක්ද?

ඇත්තවශයෙන්ම මුස්ලිම් ආගම සහ කතෝලික ආගම අතර මූලික අර්බුදයක් නැහැ. යම් යම් අන්තවාදීන් විසින් නිර්වචන ඉදිරිපත් කරන්න පටන් ගත්ත නිසා තමයි මේ දේ ‍සිද්ද වුණේ. වෙනත් වැරදි අර්ථකනයක් තුළ අන්තවාදීන් මෙම ආගම් දෙක අතර වැරදි මත සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් න්‍යාය ධාර්මිකව මම දකින්නෙ නැහැ කිසිම ගැටුමක් ඇති වෙන්න ඒක හේතු වෙනවා කියලා.

මුස්ලිම්වරුන් වගේම ක්‍රිස්තියානුවන් විසිනුත් ලෝකයේ කවරදාක හෝ මෙවැනි අන්තගාමී සිදුවීම් හෝ සංහාරයන් ඇති කිරීමට කටයුතු කරලා තියෙනවද?

දැන් මෙතනදි මුස්ලිම් ආකල්පයන් ඇවිත් තියෙන්නෙ ත්‍රස්තවාදී මුහුණුවරකින් මිසක් ආගමික මුහුණුවරකින් නෙමේ කියන එක පැහැදිළියි. ඉතා ඈත අතීතයේදී විවිධ හැළ හැප්පීම් වෙලා තියෙනවා එක එක කණ්ඩායම් තුළ. එංගලන්ත සභාව සහ කතෝලික සභාව අතර පවා විවිධ ඝට්ඨන ඇති වූ අවස්ථා තිබිලා තියෙනවා. නමුත් මේ වෙනකොට ක්‍රිස්තියානිය එතැනින් ඔබ්බට ගිහින් වඩාත් මානුෂීය හිතවාදී අයුරින් ක්‍රියාකරන්න පෙළඹිලා තියෙනවා.

ඇත්තටම ෆාදර් මෙම ඇති වුණ තත්වය නිසා ඇදිරි නීතිය පැනවීම් සිද්ද වුණා.. තවත් තැන් වල මුස්ලිම් කඩ ගිනි තිබ්බා... ඉතිං යළිත් අනාගතයේදී මෙවැනි තත්වයක් ඇති නොවීමට නම් අපි රටක් වශයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?

මේ මොහොතෙ කළ යුතු පළවෙනිම දේ හැටියට මම දකින්නෙ කිසිම ආගමක් අන්තවාදී අයුරින් ප්‍රමුඛත්වයට පත් වෙන්න බැහැ. එතැනදි එසේ සිදු නොවුණහොත් යම් ගැටළුකාරී තත්වයක් කිසියම් හෝ පිරිසක් විසින් ඇති කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ ඇති වූ සිදුවීම් දාමයට මුල් වූ සෑම පුද්ගලයෙකුම සොයලා ඔවුන්ට නීතිමය වශයෙන් කටයුතු කරන්න ඕන. එතකොට ලංකාවේ හැම ප්‍රජාවකටම ඒ කාර්ය සඳහා උපකාරී වන්නට සිදු වෙනවා. එහෙම නොවුනොත් මෙම ත්‍රස්තවාදීන්ව හොයා ගන්න අපට බැරි වෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව මේ අවස්ථාවේදී රජයට සහයෝගය දෙන්න වෙනවා මේ ත්‍රස්තවාදී වැඩපිළිවල් නවත්වලා දාන්න වගේම ඒ අයව නීතිය ඉදිරියට ගෙන එන්නත්.

ඔබතුමන් දකින විඳියට මේ වන විට අත් අඩංගුවට පත්ව සිටින ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ ක්‍රියාකරුවන්ට රජය විසින් කුමක් කළ යුතුද?

ඒක නිශ්චිතව මට මේ අවස්ථාවේ කියන්න බැහැ. මුලින්ම ඔවුන්ව නීතිය ඉදිරියට රැගෙනවිත් නීතියේ රාමුව තුළ ඒ අයට දඩුවම් ලබා දිය යුතු වෙනවා. මොකද අසරණ මිනිස්සු දෙසිය පනහකට වඩා මැරුණා. තවත් මං හිතන්නෙ පන්සීයක් විතර මිනිසුන් තුවාල ලබා තියෙනවා . ඒ නිසා ඒ වෙනුවෙන් නීතිමය වශයෙන් ඒ වන්දිය ඔවුන් ගෙවිය යුතු වෙනවා. නීතියට අනුව ඔවුන්ට උපරිම දණ්ඩණය ලබා දිය යුතු බව තමයි මේ අවස්ථාවෙදි මට විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න තියෙන්නෙ.

අපි දැන් මේ සිටින පශ්චාත් බෝම්බ පිපිරීම් සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ප්‍රජාවගේ දේපළ වලට හානි සිදු කොට ඇති මෙවැනි අවස්ථාවක් යළි ඉදිරි අනාගතයේ දිනෙක මෙරට සිදු නොවීමට නම් ඔබ පාර්ශවය සහ මුස්ලිම් පාර්ශවය අතර කිසියම් හෝ ආගමික කථිකාවතක් නිර්මාණය විය යුතුයි නේද? මං ඔබෙන් කෙටියෙන්ම අහන්නෙ ඩෙටනේටර් බෝම්බ තුවක්කුවලට වඩා තර්කය සහ එකිනෙකා අදහස් බෙදා හදා ගැනීම වඩා සුවදායකයි නේද?

දැනටම අපේ ලංකාව තුළ අන්තර් ආගමික සමුළුව තියෙනවා. හැම ආගමකම නායකයෝ එකතු වෙලා සමුළුව පවත්වනවා. ඒ සමුළුව තුළින් මතුවන යෝජනා හරහා මා හිතනවා ක්‍රියාවට නංවයි කියලා. මෙවැනි සිදුවීම් ඇති නොවන යහපත් තත්වයක් මෙරට නිර්මාණය කරගැනීමට අපට හැකි වෙයි කියා. එමෙන්ම මෙවැනි තත්වයක් ඇති නොවන්න අපි ජනතාව දැනුවත් කළයුතුව තිබෙනවා වෙනත් අයගේ අතකොළු බවට පත් වෙන්න එපා කියලා. බොරුවට වෙන අයගේ අතකොළු බවට පත් වෙලා මේ සමාජයම ප්‍රපාතයකට ඇදවට්ටවන්න එපා කියන හැගීම අපි අපේ රටේ සමස්ථ ප්‍රජාවම බිම් මට්ටමේ සිට දැනුවත් කළ යුතුව තිබෙනවා. එමෙන්ම මේ අවස්ථාවේදී සිදු වු සියලු වැරදි ක්‍රියාවන්ට දායක වූ අයව නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. එතැනදී ත්‍රස්තවාදියා සේම අහිංසක මුස්ලිම් වැසියාට හිංසා පීඩා කළ අන්තිමයා දක්වා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි.

අපගේ මෙම සාකච්ඡාව අවසාන වීමට පෙරාතුව මම කැමතියි ෆාදර් අවසාන වශයෙන් සමස්ථ ලංකාවාසීන්ටම විශේෂ ප්‍රකාශයක් ඔබ සිදු කරනවා නම්?

මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි කටයුතු කරන්න ඕන කලකෝලහාල ඇති නොකරගන්න. මේ අවස්ථාවේ අපි විශේෂයෙන්ම ආරක්ෂක අංශවලට සියලු සහය ලබා දිය යුතුයි මෙම අනීතික ක්‍රියා සිදු කළ ත්‍රස්තවාදීන්ව නීතිය හමුවට ගෙන ඒමට. ඉන්පසුව දේශපාලන නායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ අයට උපරිම දණ්ඩණය දීලා මේ බිය සමස්ථ ශ්‍රී ලංකාවෙන්ම තුරන් කරන්න කියලා. එහෙම තුරන් කරන්නෙ නැතුවඅපිට සතුටින් සාමයෙන් නිදහසින් මේ රට තුළ ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ. යුද්ධයෙන් පසුව අපි අවුරුදු නවයක් සියලු දෙනා සතුටින් හිටියා වගේ අප සියලු දෙනාට නිදහසේ ඉන්න අවස්ථාව සලසා ගන්න නම් අපි හැමදෙනාම අපි එකිනෙකාගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්න ඕන කියලා සමස්ථ ලංකාවාසීන්ගෙන්ම මා ඉල්ලා සිටිනවා.

බාසුරු ජයවර්ධන