ගුවන් ටිකට් මිල 50%කින් අඩුවෙයිද? (VIDEO)

ගුවන් ටිකට් මිල 50%කින් අඩුවෙයිද? (VIDEO)

7 May 2019 12:00 pm

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ත්‍රස්ත ප්‍රහාරයෙන් පිරිමැසිය නොහැකි ජීවිත හානි, ආබාධිත වීම්, තුවාල, දේපල හානි සමඟ රටේ ජාතික ආරක්ෂාව දරුණු ලෙස අර්බුදයට ලක් විය.

ජාතික ආරක්ෂාව අර්බුදයට යාමත් සමඟ දෛනික කටයුතු සහමුලින්ම අර්බුදයට ගිය අතර සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පැවතියේ ඉතා විවාදාත්මක තැනකය.

ඉන් නොනැවතී විදේශීය සංචාරකයන්ද ප්‍රහාරයේ ගොදුරු වූ අතර බොහෝ දෙනා කඩිනමින් රටින් පිටව ගිය අතර මෙරටට පැමිණීමට සිටි සංචාරකයන් සිය සංචාර අවලංගු කළේය.

එක් පසෙකින් වූ හෘද කම්පනයත් සමඟ අනෙක් පසින් රටේ ආර්ථිකයට එල්ල වූයේ මරු පහරකි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන සංරචකයක් වන සංචාරක කර්මාන්තය නැගී එමින් තිබූ යළි ඇදවැටීම ආර්ථිකයට පිරිමැසිය නොහැකි තැනට පත්ව තිබේ.

එහෙත් සියල්ල කඩිනමින් යථාතත්ත්වයට පත්විය යුතු අතර යුද්ධයෙන් පසු පැවති නිදහස් මානසිකත්වය යළි ගොඩනගා ගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.

එය සංචාරක කර්මාන්තය යළි ඔසවා ගැනීමට අවශ්‍ය අනිවාර්ය කාරණයකි.

එහෙයින් ඉදිරි වැඩ සැලසුමත් මුහුණ දීමට සිදුව ඇති අභියෝගයත් පිළිබඳව අපි විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමඟ සම්මුඛ සාකච්ජාවකට එක් විය.

හෝටල් සඳහා සහන: ලියාපදිංචි අයට පමණයි

මේ මොහොත වන විටත් සංචාරක හෝටල් ඇතුළු එම කර්මාන්තය ආශ්‍රිතව වෘත්තීන් සිදුකරන ඇති බහුතරයක් දෙනා කබලෙන් ලිපට වැටී හමාරය.

එහෙයින්ම ඔවුන් රජයෙන් යම් සහන බලාපොරොත්තු වන අතර ඔවුන් එම අවශ්‍යතාව රජයට පැහැදිලි කර තිබේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබ්නට් අනුකාරක කමිටුවක් පත් කළේ සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහාය.

ඒ අනුව සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිව සිටින හෝටල් හිමියන් ඇතුළු සෙසු වෘත්තිකයන් වෙනුවෙන් සහන සැලසීමට එම කමිටුව යෝජනා ඉදිරිපත් කර තිබේ.

ගුවන් ටිකට් මිල 50%කින් අඩුවෙයිද?

දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක පමණ කොටසක් අත්පත් කරගෙන සිටින සංචාරක කර්මාන්තය දණින් වැටීම සමස්තයක් ලෙස රටට මෙන්ම බලයේ සිටින ආණ්ඩුවටද විශාල කම්පනයකි.

වසරේ ගෙවුණු කාලය තුළ මෙරටට සංචාරකයන් ලක්ෂ 09කට වැඩි පිරිසක් පැමිණ සිටි අතර ත්‍රස්ත ප්‍රහාරය එල්ල නොවූයේ නම් ආණ්ඩුවේ සංචාරක ඉලක්කය සපුරා ගැනීමට ඉඩකඩ තිබුණි.

ගෙවුණු සති දෙකක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් රටට අහිමි වූ මූල්‍ය දායකත්වය ඇමරිකානු ඩොලර් බියන 4.4ක පමණ අගයකි.

කෙසේවෙතත් නැවත වරක් සංචාරක කර්මාන්තයට ආලෝකයක් ලබා ගැනීම සඳහා උපක්‍රම භාවිතා කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හරියට බැලුවොත් අපිට තියෙන්නේ මාසයයි

"මැයි මාසයේදී නැවත සංචාරක උපදෙස් සලකා බලනවා. ඒ වෙනකොට අපි ස්ථාවර බව පෙන්වන්න වෙනවා. මාසයකින් අපිට පුළුවන් නම් ආරක්ෂාව සහමුලින්ම තහවුරු කරලා සුරක්ෂිත බව පෙන්වන්න ප්‍රශ්නයක් නැහැ."

මම දැනගෙන හිටිය නම් පල්ලිවලට මෙහෙම විනාශයක් වෙන්නේ නැහැ

සංචාරක කර්මාන්තයට අමතරව ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙස ත්‍රස්ත ඉලක්කය වූ කතෝලිකයන් වෙනුවෙන් වූ වගකීමකින්ද අමාත්‍යවරයා බැඳී සිටියි.

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් දැනුවත්ව සිටි බවට දැන් තහවුරු වී ඇති නමුත් දෙස් විදෙස් ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ නැත.

වසර දහයකට පමණ පසු යළි ත්‍රස්ත බියෙන් ඇළලී ගියේය. පසුගිය කාලය පුරා සංහිඳියාව සහජීවනය පිළිබඳ කතිකාවක් පැවතියද සියල්ලටම දැන් ඇතුල් පහරක් එල්ල වී හමාරය.

" අඩුම තරමේ මම මේ අවධානම දැනගෙන හිටිය නම් මම පල්ලියේ පූජාවන් නතර කරනවා. එහෙම වුනානම් මේ තරම් විනාශයක් වෙන්නේ නැහැ. ඒ දවස්වල මමත් හිටියේ මඩු පල්ලියේ. මගේ ආරක්ෂකයනුත් මාත් එක්ක ගියා. ඒ නිසා ඔවුන්ටත් එම දැනුම් දීම ලැබෙන්න නැතුව ඇති."

කෙසේවෙතත් මිය ගිය, තුවාල වූ අයට වන්දි ගෙවීම මෙන්ම හානියට පත් වූ දේවස්ථාන ඇතුළු දේපල ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කර ඇති බවද අමාතවරයා පැවසීය.

-

මේ මොහොතේ ප්‍රධාන කාරණයක්ව පවතින ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව එක් ස්ථාවරයකට පැමිණ එහි වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කළද තවදුරටත් ජනාධිපතිවරයා ඊට සාධනීය ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ජාතික ආරක්ෂාව තනි ආයතනයක් හා තනි වගකීමක් ලෙස පවත්වා ගෙන යා යුතු බවයි.

" ජනාධිපතිතුමාට ඉතින් හැම එකම කරන්න බැහැනේ."

කෙසේවෙතත් දැන් සියල්ල රැඳී ඇත්තේ ජාතික ආරක්ෂාව මත බව පැහැදිලි කාරණයකි.

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන