මට ලෑස්ති වෙන්න කිව්වෙ මහින්ද අයියා - ගෝඨාභය රාජපක්ෂ

මට ලෑස්ති වෙන්න කිව්වෙ මහින්ද අයියා - ගෝඨාභය රාජපක්ෂ

1 April 2019 12:52 pm

(හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රාවය පුවත්පත සමග සිදුකළ සාකච්ඡාව)
 
ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට මේ වන විට සිදුව තිබෙන ඔබගේ දේශපාලන ප්‍රවේශය කෙසේ සිදුවූවක්ද ?
අද වන විට සාම්ප්‍රදායික දේශපාලනඥයා කෙරෙහි විශාල අප්‍රසාදයක් ඇතිවෙලා තියනවා. මේක උඩ විකල්පය විදිහට හුඟාක් මතුවුණේ මගේ නම. එතනදි මහින්ද ජනාධිපතිතුමා කිව්වා ඔයාව තමයි ඉල්ලන්නේ දැන් ඔයා ඒකට ලෑස්ති වෙන්න කියලා. එහෙම තමයි මාව මේ තත්ත්වයට පත්වුණේ. දේශපාලනයට එන්න මට අවශ්‍යතාවක් තිබුණේ නෑ. නමුත් මගේ අදහසක් තිබුණා හැකියාවක් තියන, ජීවිත කාලය තුළ මට යම් අවස්ථාවක් ලැබුණොත් ඒ ආකාරයට සේවය කරන්න කැමතියි. මොකද මට වැඩ කරන්න පුළුවන් බව මම පෙන්වලා තියනවා. මට යම්කිසි දැක්මක් තියනවා. මම දකිනවා විවිධ ප්‍රශ්නවලට පිළිතුරු.
 
හමුදා නිලධාරියෙක්, පරිපාලන නිලධාරියෙක් ලෙස පරිචයක් ඔබට තිබුණත් රාජ්‍ය නායක භූමිකාවක් සඳහා අවශ්‍ය දේශපාලන පරිචයක් නොමැතිකම මේ කටයුත්තේදි අභියෝගයක් නොවේද?
 
මම යුද්ධය කළ කාලයේ ආරක්ෂක ලේකම් වෙලා හිටියා පමණක් නොවෙයි පශ්චාත් යුද සමයේ යුද්ධයට සම්බන්ධ නැති විශාල වැඩ කොටසක් කළා. ලෝකයම පිළිගන්නා සාර්ථක ක්‍රමවේදයක් අනුව එල්ටීටීඊ සාමාජිකයන්ට විශාල පුනරුත්ථාපන වැඩසටහනක් කළා. උතුරේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීම සඳහාත් විශාල වැඩ කොටසක් කළා. බිම් බෝම්බ ඉවත් කරන ඒවා, නැවත පදිංචි කිරීම්, විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, නිවාස හදාදීම වගේ. මේවා කරනවාත් එක්කම නාගරික සංවර්ධනය වෙනුවෙන් කළ දේවල් සියල්ලමත් හමුදාවෙන් වෙනස් ඒවා. පාරවල් හැදුවා, පදික වේදිකා හැදුවා, ගස් ලක්ෂයකට වැඩිය කොළඹ නගරය තුළ ඉන්දුවා, පැල්පත් නිවාස අයින් කරලා ඒ අයට මහල් නිවාස දුන්නා. ඒ සියල්ල කළේ රජයේ සේවකයන් සහ සිවිල් වෘත්තිකයන් යොදාගනිමින්. ඒක ලේසි පහසු දේකුත් නොවෙයි. අද දේශපාලනඥයෙකු විදිහට කරන්න තියන වැඩත් මේවා තමයි. ජනාධිපතිවරයෙකු වශයෙන් පත්වෙන නායකයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් මේවානේ. පක්ෂ දේශපාලනය කියන එක වෙනම දෙයක්. නමුත් රටක පරිපාලනය කියන එක අපිට කරන්න පුළුවන්. ඒ හැකියාව මට තියනවා කියන එක සීමිත බලතල සහිත අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් වැඩ කරලා මම ඔප්පු කරලා තියනවා. මට පැහැදිලි දර්ශනයක් තියන බවත්, යම් කිසි ඉලක්කයක් දුන්නොත් ඒකට මට යන්න පුළුවන් බවත් මම පෙන්නලා තියනවා. මම කතා නොකර වැඩ කරගෙන ගිය නිසා මිනිස්සු මේවා දන්නේ නෑ. ඒක තමයි දේශපාලනඥයා සහ මගේ අතර තියන වෙනස. දේශපාලනඥයා යම් දෙයක් කරන්නේ දේශපාලනිකව යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්. මම වැඩ කරන්නේ රට වෙනුවෙන් අරමුණු ඉටු කරගැනීම සඳහා. අනික මම තනියම නෙවෙයිනේ වැඩකරන්නේ. තෝරාගත් කණ්ඩායමක් එක්ක. දේශපාලනයට එන හැමකෙනාම හැමදේම දැනගෙන තනතුරුවලට එනවා නෙවෙයිනේ. ඇවිල්ලත් යම් කොටසක් දැනගන්නවා.
 
ඔබ සමඟ වැඩකරන සහ ඔබ තෝරාගෙන තිබෙන කණ්ඩායම් ජාතිවාදී අන්තවාදී ප්‍රවණතාවක් ප්‍රදර්ශනය කරනවා. විශේෂයෙන්ම පුළුල් ජන පදනමක් නැති පුද්ගලයකුගේ දෙන්නෙකුගේ ප්‍රතිරූප නිසා ගොඩනඟාගෙන තිබෙන දේශපාලන පක්ෂ සහ ඒවායේ ප්‍රමුඛයන්. ඒ අයගේ අවශ්‍යතාවනුත් ඉෂ්ට කරදෙමින් නේද බලයට ආවොත් ජනාධිපතිකම කරන්න වෙන්නේ?
 
අද හැම දේශපාලනඥයෙක්ම විශාල පරිවර්තනයකට ලක්විය යුතුයි කියන එක මම නෙවෙයි, ජනතාව බලාපොරොත්තු වෙනවා. පවතින සාම්ප්‍රදායික ක්‍රමවේදයම ඉදිරියට ගෙනියන එක ජනතාව තවදුරටත් ඉවසාගෙන ඉඳියි කියා මම හිතන්නේ නෑ. ඒක මා සමඟ ඉන්න අයත්, දේශපාලනයට අලුතෙන් එන අයත්, දැනට දේශපාලනයේ ඉන්න අයත් සියලු දෙනාම තේරුම්ගත යුතු දෙයක්. ඡන්දයක් කරන කොට මේ හැම එක්කෙනා එක්කම දේශපාලනය කරන්න සිදු වෙනවා. හැබැයි ජනතාව අද බලාපොරොත්තු වෙන්නේ බලයට පත්වුණාට පස්සේ හරි විදිහට රටක් පාලනය කිරීමයි. මට සහයෝගය දෙන අයත් ඒක දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඒගොල්ලන්ගේ දේශපාලනයෙත් අවසානය වෙන්න පුළුවන්.
 
රටේ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු දේවල් වශයෙන් ඔබ හඳුනාගෙන තියෙන්නෙ මොනවාද?
 
ආර්ථිකය පිළිබඳ දේ තමයි මූලික වශයෙන් වැදගත් වෙන්නේ. කෙටි කාලීනව මිනිස්සුන්ට දැන් මේ ඇවිල්ලා තියන ආර්ථික පීඩනය ඉවත් කරගැනීම සඳහා පියවර ගැනීම. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගෙන යාමට තියන ගැටලු විසඳලා දෙන්න ඕනේ. අපි හැම තිස්සේම විදේශීය ආයෝජනය කියලා කිව්වාට ඊට වඩා අපිට පුලුවන් දේශීය ආයෝජකයා හරහා හුගාක් දේවල් කරවන්ඩ. විවිධ බදු හා පාලන නිසා දේශීය ආයෝජකයා පවා අද ආයෝජනයට බය වෙලා තියනවා. මේක තුළින් ආර්ථිකය එක පාරටම නැඟිට්ටලා ගන්න පොඩි බූස්ට් එකක් දෙන්න අවශ්‍යයි. ඊළඟට මධ්‍ය කාලීනව කරන්න පුළුවන් දේවල් තියනවා. සංචාරක කර්මාන්තය ඉක්මනින්ම විශාල ලෙස දියුණු කරන්න පුළුවන් එකක්. අපි ආරම්භ කළ තවමත් අවසන් නොවුණු විවිධ ව්‍යාපෘති කඩිනමින් අවසන් කළ යුතුව තිබෙනවා. අධ්‍යාපන ක්‍රමයේත් වෙනස්කම් කළ යුතු වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආර්ථිකයට ඍජුව බලපාන ක්ෂේත්‍රයන් තුළ වැඩි දියුණු කළ යුතුයි. එහෙම නැති රැකියාවන් සඳහා නම් උගන්නලා වැඩක් නෑ. කෘෂිකර්මය දියුණු කළ යුතුයි. කෘෂිකර්මයට මිනිස්සු මෝටිවේට් කරන්න ඕනේ. ගොවියාගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියනවා. ඒවා විසඳලා ගොවියාගේ ආදායම වැඩි කරන්න ඕනේ. කුඩා කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියනවා ඉක්මනින් දියුණු කළ හැකියි. තාක්ෂණය මුල්වුණු කර්මාන්ත ආරම්භ කරන්න අපිට විශාල හැකියාවක් තියනවා. ඒකත් කෙටි කාලීනව කරන්න පුළුවන්.
 
දේශපාලන වශයෙනුත් රටේ සිදුවිය යුතු, ජනතාව කාලයක් තිස්සේ ඉල්ලා සිටින වෙනස්කම් තියනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඒ අතරින් ප්‍රමුඛ ඉල්ලීමක්. ඒ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය මොකක්ද?
 
අද ලෝකයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම තියන රටවල් පවා මධ්‍යම රජය, රටක රාජ්‍ය බලගතු විය යුතුයි කියන මතයේ ඉන්නවා. එක්කෝ පාර්ලිමේන්තුව, නැත්නම් ජනාධිපති ධුරය. ඒ ආකාරයට තමයි ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවනුත් හැදිලා තියෙන්නේ. ඒක සමහර රටවල ජනාධිපතිවරයා. සමහර රටවල අගමැතිවරයා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. මේ දෙකෙන් එකක් මිස දෙකම දුර්වල වෙච්ච තැන් නෑ. ඇමරිකාවේ පවා ජනාධිපතිවරයාට විශාල බලයක් තියනවා. ඒ බලය තියෙන්න හේතුව තමයි දුර්වල රජයක් කියන්නේ දුර්වල රටක් වෙන නිසා. ඒ ගොල්ල ව්‍යවස්ථාව හදන කොට කිව්වේ එක් පුද්ගලයෙකුට ඒකාධිපති ආකාරයේ විශාල බලයක් නොතිබිය යුතුයි වගේම රාජ්‍ය දුර්වල වීමත් නොවිය යුතුයි කියලා. ඒ සඳහා ජනාධිපති ධුරය ශක්තිමත් කර එය පාලනය කිරීමට චෙක් ඇන්ඞ් බැලැන්ස් ක්‍රමය යොදාගත්තා. එහෙම කියලා තමයි සෙනෙට් එක සහ කොන්ග්‍රස් එක හැදුවේ. ඊළඟට අධිකරණ, ව්‍යාවස්ථාදායක සභා වගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ආයතන හැදුවෙත් චෙක් ඇන්ඞ් බැලන්ස්වලට. අපේ රටෙත් ඔය දෙකෙන් එකකට යන්න පුළුවන්. රාජ්‍ය දුර්වල නොවීම තමයි මූලිකව විය යුත්තේ. අපි ජනාධිපති ක්‍රමය අහක් කරනවා නම් අපිට ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කරගැනීමට හැකිවන මැතිවරණ ක්‍රමයක් තිබිය යුතුයි. දැන් තියන ක්‍රමය අනුව කවුරුත් දන්නවා ඒ වගේ ආණ්ඩුවක් ඇති කරගැනීමට පුළුවන්කමක් නෑ. අදත් තියෙන්නේ බහුතරයක් නැති ආණ්ඩුවක්නේ. එතකොට ඒක ස්ථාවර එකක් නෙවෙයි.
 
20 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යෝජනා වෙලා තියනවා. සියලු දෙනාම මේකට කැමැත්තක් දක්වන බවක් පේනවා නේද?
 
කරනවා නම් මේක අවුරුදු පහකට ඉස්සෙල්ලයි කරන්න තිබුණේ. ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියෙද්දි දැන් කරන්න ගියොත් ජනාධිපතිධුරය අහෝසි වෙනවා. තව මාස ගාණකින් පාර්ලිමේන්තු මැතිවරණය එන්න තියෙද්දි ඡන්ද ක්‍රමය වෙනස් කරන්න යනවා. ඒකට සීමා නිර්ණ කමිටු දාලා ඒක ඇදගෙන ගිහිල්ලා කෙරෙන්නේ. ඇයි සීමා නිර්ණය නැතිව පළාත් සභාවක් තියන්නේ නැති කොට මහ මැතිවරණයක් තියයිද? ඒ කියන්නේ මේක වෙන උප්පරවැට්ටියක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ එකම දේ තමයි ජනතාවට තමන් කැමැති පාලකයෙක් පත් කරගැනීමට ඇති බලය. ඒක තමන්ගේ රහස් ඡන්දය පාවිච්චි කිරීමෙන් විටින් විට තම පාලකයා වෙනස් කරගැනීමට ඇති අයිතිය. ඔය කතා කරන නිදහස අරව මේවා ඔක්කොම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නෙවෙයි ලිබරල්වාදයේ. දැන් මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත් නැති කරලා දාන්නයි.
 
දෙමළ ජනතාවට දෙමළවීම නිසාම විශේෂයෙන් විසඳා ගතයුතු දේශපාලන ප්‍රශ්නයක් තියනවා යැයි ඔබ පිළිගන්නවාද?
 
මම කියන්නේ අපි ආර්ථිකව මිනිස්සු ගොඩනැඟීමයි කරන්න ඕනේ. ඒකයි මිනිස්සුන්ට ඕනේ. මේක කතා කරාම සමහරු කියනවා “නෑ අපිට ගෞරවනීය ලෙස ජීවත්වීමේ අයිතියක් තියෙන්නට ඕනේ” කියලා. මුරුංගා කොළ කාලා ජීවත් වෙනවා නම් සිංහලයෙක් වුණ පළියට ඒ මිනිහා සමාජයේ ගෞරවනීය විදිහට ජීවත්වෙන කෙනෙක් වෙනවද? අද අපේ රටේ ඉහළම මට්ටමේ නීතිඥයෝ, ශල්‍ය වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ ඉන්නවා දෙමළ. අර මුරුංගා කොළ කාලා ජීවත්වෙන සිංහල දුප්පත් මිනිහාට වැඩිය මේ අය සමාජයේ ගෞරවනීය ලෙස ජීවත්වෙන්නේ නැත්ද? මම කියන්නේ ගෞරවනීය ජීවිතය අහිමිවෙලා තියෙන්නේ ඒ මට්ටමට එන්නට හොඳ අධ්‍යාපනයක් රැකියාවක් ආදායම් මාර්ගයක් නැති නිසා මිස ජාතිය නිසා නෙවෙයි. නිදහසට ඉස්සෙල්ලා ඉඳලා ෆෙඩරල් ගේන්න කියනවා. බලය බෙදන්න කියනවා. ඒවායින් මේ ප්‍රශ්න විසදෙනවාද?
 
ඇමරිකානු අත්දැකීම් අනුව ෆෙඩරල් පාලනය සහ සුළු ජාතීන් පිළිබඳ ගැටලුව ගැන දකින්නේ කොහොමද?
 
අද ලෝකයේ හැම මනුෂයන් අතරම සුළු ජාතීන් කියන මතයක් ඇතිවෙලා තියනවා. මේක නැති කරගැනීම හරිම අපහසුයි. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම ආර්ථික වශයෙන් ගොඩගත්තොත් අපිට ගෞරවනීයව එක කණ්ඩායමක් ලෙස ජීවත්වීම කියන එකේ ප්‍රශ්නයක් එන්නේ නෑ. බලන්න දෙමළ දේශපාලනඥයා කොච්චර කුහකද කියලා. අවුරුදු තිහකට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතූමා පළාත් සභා පිහිටුවගන්න අවස්ථාව දීලා, ඒවාට මුදලුත් දෙනවා. නමුත් දේශපාලකයා අර පැරණි දේශපාලන මතවාදයම මිනිස්සු අතරට යවලා ඒ මුදල් පාවිච්චි කරන්නේ නැතිව නිකන් ඉන්නවා. ඔන්න සිංහල ආණ්ඩුවක් නිසා අපිට වැඩ වෙන්නේ නෑ කියන මතය ජනතාව අතරට ගෙනියන්නයි එහෙම කරන්නේ. අද ඒ අයට ආගම අදහන්න බෑ කියලා ප්‍රශ්නයක් ඇත්තෙත් නෑනේ.
 
ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුයි කියන දකුණේ තියන මතය සමඟ ඔබ එකඟ වෙනවද?
 
මම විතරක් නෙවෙයිනේ කාදිනල්තුමාත් ඒකට එකඟයිනේ. මොකද රටේ බහුතරය සිංහල බුද්ධාගම් අයනේ. බුද්ධාගම කියන්නේ හැමෝටම ඉඩ දෙන සාමකාමී ආගමක්නේ. මට ඉන්දියාවේ ඉන්න සමහර ඉහළ මට්ටමේ පුද්ගලයෝ කියලා තියනවා හින්දු බුද්ධිමතුන් අතර තියන මතයක් කියලා ඉන්දියාවේ බුද්ධාගම ඇතිවුණ නිසා තමයි ඉන්දියාව කෑලිවලට කැඩිලා ගියේ කියලා. බුද්ධාගම තිබුණු හින්දා තමයි ඉස්ලාම් ආක්‍රමණය ඇතිවුණේ කියලා. ඒකත් එක්ක තමයි පකිස්ථානය, බංග්ලාදේශය ඇතිවුණේ කියලා. බුද්ධාගම නැතිව හින්දු ආගම තිබුණා නම් ඒ ආක්‍රමණවලට විරුද්ධව සටන් කරනවා කියලා. ලංකාවේ සිංහල බහුතරයක් හිටියා වුණාට ලෝක ජනගහණයෙන් සිංහල කියන්නේ ඉතාම පුංචි කොටසක්. නැසී යන කොටසක්. ඒක ආරක්ෂා කරගත යුතුව තියෙනවා. වාර්ගිකව බෙදිලා දේශපාලනය කිරීම හොඳ දේශපාලනයක් නොවෙයි. දේශපාලනය තුළ බෙදිය යුත්තේ ප්‍රතිපත්ති මත මිස ජාතිවාදීව නෙවෙයි. රජය මැදිහත්වෙලා මේ කාරණය හරියට කලමනාකරණය කළ යුතු වෙනවා.
 
ඔබ ආරක්ෂක ලේකම් කාලයේ ආරම්භ කළ විදුහල්පතිවරුන්ට හමුදා නිල ප්‍රදානය කිරීම, හමුදා පුහුණුව ලබාදීම, විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා නායකත්ව පුහුණු ලබාදීම වගේ දේවල්වලින් සිංහල බෞද්ධ සංස්කෘතියේ මුහුණුවර ක්‍රමිකව විකෘති කිරීමට ලක්වෙන බවක් දකින්නේ නැත්ද?
 
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටට ගෙන ඒම තුළ අපේ තිබුණු පැරණි සංස්කෘතිය වෙනස්වෙලා ඉවරයි. ගුරුතුමා හරහා ගොඩනැඟුණු විනය කැඩිලා ඉවරයි. ගුරුතුමා කියන දේවල් ගණන් ගන්නේ නෑ. මට ඕනේ වෙලා තිබුණේ ඒ තත්ත්වය වෙනස් කරලා එදා අපේ අධ්‍යාපන ක්‍රමය තූල තිබුණු විනය නැවත ගෙන එන්නයි. එදා එහෙම විනයක් තිබුණා කියලා, අපිට ගැහුවා කියලා, කෝටුවෙන් තැලුවා කියලා අපේ පරම්පරාව නරක් වෙලා තියනවාද? ගුරුතුමා ගෙනා ඒ විනය හොඳ දෙයක් විදිහටයි අපි දැක්කේ. අද මොකක්ද පාසල්වල තියන විනය? පාසල්වලට කුඩු ගේනවා, මත්පැන් ගේනවා, ගුරුතුමාට ඒක පාලනය කරන්න බෑ. මේ විනාශ වුණ සංස්කෘතිය නැවත ගෙන එන්නයි මම වැඩ කළේ. කවුරු මොනවා කිව්වත් නායකත්ව පුහුණුවට සහභාගි වුණ ළමයින්ගෙන් සීයට අනූවක් කිව්වේ මේක හොඳයි මේක තියන්න ඕනේ කියලා.
 
රථවාහන තදබදය, කසළ ප්‍රශ්නය, වායු දූෂණය… මේ වගේ විසඳාගත නොහැකි ප්‍රශ්න රාශියක් නිසා මිනිස් වාසයට නුසුදුසු වෙමින් තිබෙන කොළඹ නගරයේම අලුතෙන් වරාය නගර ඉඳිකරනවා. හැම තැනම එපාර්ට්ස්මන්ට්ස්, ටවර්ස් හැදෙනවා. මේ සිදුවන බොහෝ දේවල් නාගරික සංවර්ධනය ඔබ යටතේ තියෙද්දි අනුමත කෙරුණු දේවල්. තියන ප්‍රශ්න විසඳගන්න බැරිව තියෙද්දි කොළඹ ඇතුළෙම තව තවත් මේවා ඉදිකරනවාට වඩා ඵලදායී විකල්ප අදහස් ඔබට ඇති වුණේ නැත්ද?
 
අපේ කාලයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ දියුණු කරන්න අපි ණයක් ගත්තා. ඒකට ටවුන් ප්ලෑන් කරන වෙලාවේ ඒ ගොල්ල කිව්වේ කොළඹ නගරයේ ජනගහණය මදි ඒ විදිහේ ටවුන් ප්ලෑන් එකකට කියලා. නගරයක් ස්ථාවරව පවත්වාගෙන යාමට යම් කිසි ශ්‍රම බලකායක් අවශ්‍යයයි. ඒක කොළඹ නෑ කියන එක තමයි ඒ අයගේ අදහස වුණේ. එහෙම වුණාම නගරයක් ස්ථාවරව පවත්වාගන්න බෑ කියන අදහස තමයි එතන තියෙන්නේ. නාගරිකකරණය නිසා තමයි මේ ප්‍රශ්නයත් මෙහෙම තියෙන්නේ. චීනය ගත්තත් ගම්බදව ඉන්න ඔක්කොම මිනිස්සු නගරයට ඇවිල්ලා. හේතුව නාගරිකව තියන යටිතල පහසුකම්. මේකෙන් ඈත්වෙන්න නම් අපිට හැම එකකින්ම යටිතල පහසුකම්වල විශාල දියුණුවක් ඇති කරන්න වෙනවා. උදාහරණයක් විදිහට සොෆ්ට් වෙයාර් දියුණු කරන කර්මාන්තයක් කියමු. එහෙම එකක් කොළඹ ඇතුළෙම හදන්න ඕනේ නෑ. නමුත් ඒ කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය මූලික යටිතල පහසුකම් අවශ්‍ය වෙනවානේ. පිට පලාතක ඒක හදන්න නම් ඒ පළාත්වල විශාල යටිතල පහසුකම් සංවර්ධනයක් ඕනේ වෙනවා. ඉතිං ඒවා එහෙම කරන්න පුළුවන්ද? මම නම් ඇත්තටම හිතන්නේ මේ නාගරිකකරණය කියන එක කැඩීම තමයි ලෝකයේම සිදුවිය යුත්තේ. නාගරිකකරණය තුළින් විශාල ප්‍රශ්න ඇතිවෙලා තියනවා. ඒවා නැති කරන්න නම් නාගරිකකරණය කඩන්න ඕනේ. නමුත් ඒකට පිටපළාත්වල යටිතල පහසුකම් දියුණු කිරීම කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක්. යුද්ධයෙන් පස්සේ අපිට උවමනා වුණේ අවුරුදු තිහක් පස්සට ගිහින් තිබුණු සංවර්ධනය කඩිනමින් ඉදිරියට ගන්න. ඒ අවස්ථාවෙදි තමයි කොළඹ ඔය සංවර්ධන ව්‍යාපෘති අනුමත කරන්නේ.
 
ඔබ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්නේ ඔබට විරුද්ධව බරපතළ චෝදනා ගණනාවක් ඉදිරිපත්ව තිබෙන, නඩු විභාග පැවැත්වෙන අතරතුර. රාජ්‍ය මුදල් අවභාවිතය සහ ජනමාධ්‍යයට එරෙහි අපරාධ ඒ අතරින් ප්‍රමුඛයි. මේවා ගැන ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතු වෙනවා නේද?
 
මේවා හරිම අභූත, පදනමක් නැති චෝදනා. ගෙදර මිනී මෝරු ඇතිකළා කියනවා. රජයේ ආදාමෙන් ශතයක්වත් වියදම් කරලා කළ දේවල් නෙවෙයි ඕවා. ලංකාවේ විසිතුරු මාළු ව්‍යාපාරය කරන සුප්‍රසිද්ධම පුද්ගලයා මිස්ට පතිරණ කියලා කෙනෙක්. එතුමා මට විතරක් නෙවෙයි අරලියගහ මන්දිරයට තවත් විවිධ ලේකම්වරුන්ට එහෙම හුඟාක් තැන්වලට මේ ලස්සන මාළු ටැංකි ගෙනිහින් දුන්නා. මගේ අමාත්‍යාංශයටත් ගෙනල්ලා දීලා කිව්වා ගෙදරත් ටැංකියක් හදලා දෙන්නම් කියලා. යුද්ධය තුළ අපි හිටිය ආතතික තත්ත්වය තුළ ටික වෙලාවක් මේ මාළු දිහා බලාගෙන ඉඳලා සිත සැහැල්ලු කරගන්න පුළුවන් කියලා කිව්වා. අශෝක ග්ලාස් ෆැක්ටරි එකේ එතුමාගේ වියදමින් තමයි ඒ ලොකු වීදුරුවක් ගෙනත් දුන්නේ. මම ඉල්ලලා නෙවෙයි එහෙම ගෙනත් දුන්නේ. කල්පනා කරන්න මේ රටට ආදරය කරන එහෙම මිනිස්සුත් ඉන්නවා. එහෙම ටැංකියක් හදලා ඒකට මාළු ගෙනත් දැම්මා. ඒ මිනීමෝරු නෙවෙයි. ඒ මෝරු ජාතියම එයා දියත උයනේ මාළු ටැංකියටත් ගෙනිහින් දැම්මා. නඩත්තු කළේත් එයා. රාජපක්ෂ කෞතුගාරය හැදීම ගැන කරන චෝදනාත් චරිත ඝාතනය කරන්න, මඩ ගහන්න හිතාමතාම දේශපානික හේතු මත කරන ඉතාම අසාධාරණ ඒවා.
 
සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඝාතනය ටි්‍රපොලි හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක වූ යුද හමුදා බුද්ධි අංශයේ විශේෂ ප්‍රහාරක කණ්ඩායමකින් සිදුවූවක් බවත්, එය ඔබගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වී ඇති බවටත් තොරතුරු අනාවරණයවී තිබෙනවා. ඔබ ඒ කරුණු ප්‍රතික්ෂේප කරනවාද?
 
ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ යුද හමුදාපති යටතේ. යුද හමුදා ව්‍යුහය අරගෙන බලන්න බුද්ධි අංශය ක්‍රියාත්මක වෙන්නේ කා යටතේද කියලා. හමුදාව පටන් ගත්ත දා ඉඳළම බුද්ධි අංශය පාලනය වෙන්නේ යුදහමුදාපති යටතේ. මේවා තමයි වෙනත් කෙනෙකුට වරද පැටවීම සඳහා කරන විකෘති කිරීම්. හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඍජුවම වගකියන්නේ යුද හමුදාපතිවරයාට. ආරක්ෂක ලේකම් විදිහට මම හමුදාවට යම්කිසි උපදේශයක් දෙනවා කියන එකයි මේවගේ වැරදි අණ දෙනවයි කියන එකයි අතර වෙනසක් තියනවා. මම සියලු නිලධාරින්ව ගෙනල්ලා “මෙන්න මේ කාර්ය කරන්න ඕනේ, ත්‍රස්තවාදය විනාශ කරන්න ඕනේ” කියලා වගේ හමුදාවට උපදෙස් දෙන්නේ නීත්‍යානුකූලව. මට එහෙම කරන්න පුළුවන්කම තිබුණට ගිහිල්ලා අරූව මරපං කියලා හමුදා නිලයන්ට අණක් දෙන්න පුලුවන්කමක් නෑ. එහෙම අණ දෙන්න නම් තමන් යටතේ ක්‍රියාත්මක වෙන වෙනම කණ්ඩායමක් සිටිය යුතුයි. සිවිල් නිලධාරියෙක් වශයෙන් මට පුලුවන්ද ඒ විදිහට වෙනම ප්‍රහාරක කණ්ඩායමක් හදාගන්න. ආරක්ෂක ලේකම්වරයා විදිහට ත්‍රිවිධ හමුදාවම මගේ යටතට එනවා වුවත් ඒ හමුදාවට වැරදි අණ දෙන්න මට බෑ. ඔය කණ්ඩායම්වල හිටියේ කවුද කියන්නවත් මම දන්නේ නෑ. මේ එකම මිනීමැරුමක්වත් මට අවශ්‍යතාවක් තිබුණෙත් නෑ. මම කළෙත් නෑ. මේවා විවිධ පුද්ගලයන්ගේ පුද්ගලික අවශ්‍යතා නිසා සිද්ධ වුණ දේවල්.
 
එහෙමනම් ආරක්ෂක ලේකම්වරයා විදිහට මේ ඝාතනය කාගේ වැඩක්ද කියා හෙළිකරගන්නට ඔබට හැකියාවක් සහ වගකීමක් තිබුණා නේද?
 
ඇත්ත. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් යම් කිසි දෙයක් සිද්ධ වුණා නම් පොදුවේ මගේ වගකීමක් තියනවා. ඒ අනුව අපි ක්‍රියාකළා. ඔය සීඅයිඩී එකේ ඉන්න අයටම තමයි ඒක දීලා තිබුණේ. නමුත් අද වෙනකනුත් ඒවා හොයන්න බැරිවෙලා තියෙන්නේ යම් කිසි දේකට ගියාම එහෙම කරන්න බැරි අපහසුතාවයන්ට පත්වෙන අවස්ථා තියන නිසා. හැබැයි වෙන අහිංසකයෙකුව ඉලක්ක කරගෙන, එයාව වැරදිකාරයා කරන්න මේවා හෙව්වාම කොහොමටවත් හොයාගන්න බැරි වෙනවා. මොකද හරි තැනට නෙවෙයිනේ යන්නේ. දේශපාලනිකව මාව වැරදිකාරයා කරන්න තමයි දැන් හැම පරීක්ෂණයක්ම කරන්නේ. මිනිස්සුන්ට කියලා තියනවා ආරක්ෂක ලේකම් කිව්වා කියන්න එහෙම කිව්වොත් ගෙදර යන්න පුලුවන් කියලා. නමුත් ඒ මිනිස්සු එහෙම කිව්වේ නෑ.
 
ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුවූ දූෂණ අනාවරණය කිරීම නිසා ලසන්ත නිහඬ කිරීමේ අවශ්‍යතාවක් ඒ වෙනකොට ඔබට තිබුණා නේද?
 
ඒකට මට කරන්න තිබුණ හොඳම එක මම කළා. මම උසාවි ගියා. මගේ කාලෙත් අවුරුදු අටක් ඒ නඩුව ගියා. එහෙම කියනවා නම් ලසන්ත පිළිබඳ කොච්චර දේවල් සිද්ධ වුණාද ඉතිහාසයේ. චන්ද්‍රිකා කාලේ වුණේ නැද්ද? මංගල ඇමැතිතුමා කිව්වේ නැද්ද? මේ ලසන්ත යුද්දෙට විරුද්ධව කතා කරනවා රාජ්‍ය ද්‍රෝහියෙක් කියලා. ලසන්තගේ නෝනටයි ලසන්තටයි කරදර කළේ නැත්ද චන්ද්‍රිකා කාලෙදි? එවකට හිටිය හමුදාපතිවරයාට විරුද්ධව විශාල ලිපියක් ලිව්වේ නැද්ද? ඒ අයට මේ ප්‍රශ්න තිබුණේ නැත්ද? ඇයි මගේ ආටිකල් එක ගැන විතරක් එහෙම කියන්නේ? මම බය නැතිව කියනවා යුද ඉතිහාසයේ ඉතාම හොඳින්ම විනිවිද පෙනෙන ලෙස කළ ගනුදෙනුව මිග් යානා ගනුදෙනුව කියලා. මට ඒක ඔප්පු කරන්න පුළුවන් ඩොකියුමන්ට්ස් තියනවා. ප්‍රහාරක යානා මිලදී ගැනීමේ අවශ්‍යතාව ගුවන් හමුදාවෙන් ගෙනත් තිබුණේ මම එන්න කලින් හිටපු අමාත්‍යවරයාට. ඒ කාලයේ යුක්රේන්වල මෙම ගත්ත ආයතනයෙන්ම යෝජනාවක් ඉදිරිපත් කරලා තියනවා එවකට හිටිය අමාත්‍ය තිලක් මාරපන මහත්තයාට. එහි තියනවා ගනුදෙනුව සිදුවෙන ආකාරය. කොටස් වශයෙන් ගෙවනවා නම් කොහොමද ණයක් දෙනවා නම් ණය දෙන ආයතනය ආදී ඔක්කෝම එහි තියනවා. මම ආවට පස්සෙත් ගුවන් හමුදාපති මේ යෝජනාවම ඉදිරිපත් කළාට පස්සේ අවශ්‍යතාව මත අපි ආරක්ෂක මණ්ඩලේ තීරණයක් ගත්තා ප්‍රහාරක යානා ගත යුතුයි කියලා. මේකට මිග් යානාම ගත යුත්තේ ඇයි කියන එක ගුවන් හමුදාවෙන් කියලා තියනවා. එදා ආව යුක්රේන් මාෂ්වල අධ්‍යක්ෂවරයාම මෙදාත් ඇවිල්ලා අපිට අර යෝජනාවම බාර දෙනවා. වෙනසකට තියෙන්නේ ඒ යානා නැවත පූර්ණ අලුත්වැඩියා කරලා අපිට දෙන්න කියලා. අනෙක් කොන්දේසි සියල්ල අකුරක් නෑර මුලින් එකට සමානයි. මේක තමයි අපි ඇගයීම් කරන්නේ. මුල්‍යමය ඇගැයීමක් සහ තාක්ෂණික ඇගයීමක් කියලා දෙකක් තියනවා. ඒ ඇගයීම් කළේ වෙනමම ස්වාධීන මණ්ඩලයකින්. ඒකේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්වරුන් පවා හිටියා. මහා භාණ්ඩාගරයෙන් මුල්‍ය ඇගයීමකුත් කළා. ඒක කැබිනට් එකෙන් පත් කළ ටෙන්ඩර් බෝඞ් එකකින් අනුමත කළා. මම ඒ බෝඞ් එකේ එක් සාමාජිකයෙක් වීම පමණයි මිග් ගනුදෙනුවට මගේ සම්බන්ධවීම. මේ මණ්ඩලයෙන් සම්මත වුණාට පස්සේ ඒක කැබිනට් එකට ඉදිරිපත් කළාට පස්සෙ කැබිනට් එක ඒ ගැන නැවත සොයන්න කොමිටියක් පත්කළා. එයිනුත් පස්සෙයි කැබිනට් එක මේක අනුමත කරන්නේ.
 
නමුත් මේ ගනුදෙනුවේදී බෙලිමිස්සා නමැති ලිපිනයක් පමණක් තිබෙන සමාගමකට මුදල් ගෙවා තිබෙනවා නේද? කොහෙද ඒ සමාගමේ කාර්යාලයක් හෝ තියෙන්නේ කියන කාරණය නේද ප්‍රශ්නගත වුණේ?
 
මේකට යුක්රේන් රාජ්‍ය වැරදි වැඩක් කරගත්තා නම් ඒක අපේ වරදක් නෙවෙයි. ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. ඒවගේ දේවල් ඊට කලිනුත් වෙන්න ඇති. අපි දන්නේ නෑ. නමුත් අපේ පැත්තෙන් එහෙම වෙලා නෑ. කැබිනට් අනුමැතියෙන් පස්සේ ගුවන් හමුදාව මේ මිලදී ගැනීම් කරන කොට යුක්රේන් මාෂ් සමාගම විසින් නම් කරන සමාගමකටයි මුදල් ගෙවන්න සිදුවෙන්නේ. ඒක ගිවිසුමේම කොන්දේසියක්. ඒක තමයි බෙලිමිස්සා සමාගම කියන්නේ. ඒ සමාගමට ගෙවන්න කියා නම් කළේ අපි නෙවෙයි. අපි මෙහෙ බැංකුවේ එල්සී එකක් ඇරියම එහෙ කෙනා කියාපු කෙනාට පමණයි එහෙ බැංකුව මුදල් රිලීස් කරන්නේ. ඒ රටේදි ඒකේ වෙනසක් වුණානම් ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. පාඩුව වෙන්නේ ඒ රටට. මට ඔය ගැන චෝදනා කිරීමට විරුද්ධව මම සන්ඬේ ලීඩර් ආයතනයට විරුද්ධව දාපු ඒ නඩුව අවුරුදු අටක් තිස්සේ විභාග වුණා. අන්තිමේ මට වන්දි ගෙවන්න නියමවුණා.
 
ලසන්ත ඝාතනයට යොදාගත්ත බෝල්ට්ගන් නමැති අවිය පිටරටවල ගවයන් බැටළුවන් ආදී සතුන්ගේ හිසට ඇණ මරණයට පත් කිරීමට භාවිතා කරන විශේෂ අවියක්. මේ අවි කිහිපයක් විශේෂයෙන් ගෙන්වා ගැනීමට යුද හමුදාවට අවශ්‍ය වෙන්නේ මොන වගේ මෙහෙයුම් කටයුත්තක් සඳහා යොදාගන්නද?
 
මගේ කාලේ, මගේ අනුමැතිය යටතේ එහෙම කිසිම ආයුධයක් ගෙනල්ලා නෑ
 
ලසන්ත ඝාතනය යුද හමුදාපතිගේ නියෝග මත සිදුවූවක් නම් යුදහමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ වෙලාවේ ඔහුට එරෙහිව මේ චෝදනාව යොදාගන්න හොඳින්ම හැකියාව තියෙද්දි ඇයි එහෙම නොකළේ?
 
ඒක තමයි අපේ හොඳකම. මම පුද්ගලයෙක් පිළිබඳ අවිශ්වාස කළා කියලා එයාව ටාගට් කරලා ඔහු අමාරුවේ දැම්මේ නෑ. නමුත් අපි ලොකු උත්සාහයක් ගත්තා මේකේ ඇත්ත හොයන්න. මම කියලා තියනවා ඔය නිලධාරින්ටම මේක හොයන්න මෙයා වෙන්න ඇති කළේ කියලා. නමුත් මම කිව්වේ නෑ ඒක උඩ මෙයාව හිරේට ගන්න කියලා. පරීක්ෂණය කරන්න කිව්වා. ප්‍රශ්නේ තියෙන්නේ එක තැනකට ගියාට පස්සේ ඒක නවතිනවා. හිතේ තියාගන්න මේ හමුදාපතිනේ. මේක සිද්ධ වෙන්නේ යුද්දෙ තදින්ම යන කාලේ. ඔයා හිතනවද ඒ වගේ වාතාවරණයක් තියෙද්දි යුද්දේ කරන හමුදාපතිවරයාට විරුද්ධව සීඅයිඩී එකට වුණත් මේ ප්‍රශ්න කිරීම් කරලා හරි උත්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ සාක්ෂි ගන්න පුළුවන්කමක් නෑ. මේකෙ සංකීර්ණකමක් තියනවා. අපේ බුද්ධිමතුන් මේවා කල්පනා කරලා බලන්නේ නෑ.
 
(රාවය)