තලෙයිබානයේදී මවක් වීම...!

තලෙයිබානයේදී මවක් වීම...!

26 September 2021 09:21 am

තලෙයිබානයේදී දරුවෙකු ප්‍රසූත කිරීමේ අත්දැකීම කුමක් වැනිදැයි රාබියාගෙන් අසන්න...රාබියා සිය අලුත උපන් බිළිඳා නළවමින් සිටියි. ඇය ඒ දරුවා ප්‍රසූත කළේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් පළාතේදී ය. ‘‘මේ මගෙ තුන්වැනි දරුවා. ඒත් මේ අත්දැකීම හරිම වෙනස්.. හරිම භයානකයි..‘‘ යැයි ඈ කියන්නීය.

සති කිහිපයක් තුළ රාබියා දරු උපත ලබාදුන් මාතෘ සායනය එහි අවම පහසුකම් දක්වා පරිහානියට පත් ව තිබිණි. ඇයට වේදනා නාශක ලබාදුන්නේ නැත. ඖෂධ ලබාදුන්නේ නැත. රෝහල් ගත වීමෙන් පසු ආහාර ලැබුණේ ද නැත.

රෝහල තුළ පැවතියේ සෙන්ටිග්‍රේඩ් අංශක 43 ක දැඩි රස්නයකි. විදුලිය ද නොවීය. ජෙනරේටර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන තිබුණේ ද නැත. ‘‘අපිව දාඩියෙන් නෑවිලා තිබුණා..‘‘ යැයි රාබියාගේ වින්නඹු අම්මා ලෙස කටයුතු කළ අබිදා කියයි. දරුවාගේත් මවගේත් ජීවිතය රැකෙන පරිදි අඳුර නොතකා මහත් වෙහෙසක් ගනිමින් දරු ප්‍රසූතියට උදව් කළේ ඇයයි.

මළ දරු උපතක් වාර්තා නොවීම රාබියාගේ පැත්තෙන් වාසනාවකි. ඒ වාසනාව ලැබුවේ අල්පයක් දෙනා පමණි. ඇෆ්ගනිස්ථානය, තලෙයිබාන් පාලනය තිබුණත් නැතත්, ලෝකයේ වැඩිම මළ දරු උපත් සහ මාතෘ මරණ ප්‍රතිශතයක් වාර්තා කරන රටකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සජීවී දරු උපත් ලක්ෂයකට මව්වරුන් 638 දෙනෙක් මෙලොව හැර යති.

දැන් තත්වය තවත් දරුණු වනු ඇත.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) විධායක අධ්‍යක්ෂිකා නටාලියා කානෙම් පවසන්නේ වහාම මැදිහත් නොවුණහොත් අති බරපතළ ප්‍රතිඵල උදා වනු ඇති බවයි. එම සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව අතිරේක මාතෘ මරණ 51,000 ක්, අනපේක්ෂිත ගැබ්ගැනීම් මිලියන 4.8 ක් 2021-2025 අතර කාලය තුළ සිදුවනු ඇත. පවුල් සැලසුම් ක්‍රමවලට පිවිසීමට නොහැකි ප්‍රමාණය මේ කාලය තුළ දෙගුණයකින් ඉහළ යනු ඇත.

‘‘ගතවූ සති කිහිපයේ වූ බිහිසුණු වෙනස්කම්වලට පෙර සිටත්, සෑම පැය 2 කටම වරක් ඇෆ්ගන් කාන්තාවක් බැගින් දරු ප්‍රසූතියේදී මිය ගියා.‘‘ 
- UNFPA's Dr Kanem

‘‘ඇෆ්ගනිස්ථානයේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් විශාල වශයෙන් බිඳ වැටෙමින් තිබෙනවා.‘‘ යැයි කාබුල් නුවර බිඳ වැටීමෙන් පසුව සිය ධුරයේ ඉතිරි වූ එකම අමාත්‍යවරයා වන මහජන සෞඛ්‍ය ඇමති වෛද්‍ය වහීඩ් මජ්රූහ් පවසයි. ඇෆ්ගන් ජාතිකයන්ගේ සෞඛ්‍ය අයිතීන් රැක දෙන බව පවසතත්, උද්ගත ව ඇති තත්වය තුළ එය අතිශය අසීරු වනු ඇත.

කාබුල් ගුවන් තොටුපොළේ ඇතිවූ නොසන්සුන්කාරී තත්යෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු සෞඛ්‍ය සහනාධාර කපා දැමුවේය. ඇෆ්ගනිස්ථානය තලෙයිබානය බවට පත් වුණේ ලෝකයෙන් ම කපා හැරුණු හුදෙකලා රටක් ලෙස ය.

රාබියා දරු උපත සිදුකළ රෝහලේ මේ වන විට ගිලන් රිය සේවාව පවා අක්‍රිය වී තිබෙන්නේ ඉන්ධන නොමැති කම හේතුවෙනි. මේ අතර කොරෝනා වෛරසය ද වේගයෙන් පැතිරෙමින් තිබේ. ‘‘හතරවැනි රැල්ලට සූදානම් වෙන්න අපිට කොහෙත්ම හැකියාවක් නෑ..‘‘ යැයි වෛද්‍ය මජ්රූහ් කියයි.

ගිලන් රිය නොමැති කම නිසා ටැක්සියක නැගී එන්නට උත්සාහ කළ, ටැක්සි නැති නිසා අවසානයේ අමාරුවෙන් හොයාගත් කාරයක නැගී දරු ප්‍රසූතියට රෝහලට පැමිණි කාන්තාවක ගැන අබීදා සිහිපත් කරයි. ඇය ඒ වන විටත් ප්‍රමාද වැඩි ය. ඇගේ බිළිඳා ප්‍රසූත වී තිබුණේ මෝටර් රිය තුළදී ය. දින තුනක් දැඩි වෙහෙසක් මැද ප්‍රතිකාර කිරීමෙන් පසුව එම බිළිඳු දියණියගේ දිවි රැක ගැනීමට හැකි විය.

UNFPA මැදිහත් වීම

‘‘අපි දිවා රෑ නොතකා මේ ක්‍රමය යථා තත්වයට පත් කරන්නට වෙහෙසෙනවා. නමුත් අපට අරමුදල් නැතිව එය කරන්නට බැහැ.‘‘ යැයි UNFPA කියයි. ඔවුන් දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 29.2 ක ආධාර මුදලක් ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබේ.

ළමා විවාහ සීඝ්‍ර යෙන් ඉහළ යාම ද ඉදිරියේදී මාතෘ හා බිළිඳු මරණ ඉහළ යාමට හේතු වනු ඇතැයි UNFPA විශ්වාස කරයි. පාසල් යාමට නොහැකි දැරියන්ගේ කාංසාව ඉහළ යාම, බලහත්කාරී විවාහ පිළිබඳ භීතිය විසින් සිය දිවි නසාගැනීම් සඳහා ද පෙළඹවීමක් සිදුවනු ඇත.

ගැබිනි මවකට පිරිමි වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කළ හැකිද?

බොහෝ දේ වේගයෙන් නරක අතට හැරෙමින් තිබේ. ඇෆ්ගන් රෝහල් හා සායනවලින් වාර්තා වන අන්දමට, රෝගී කාන්තාවන්ට ප්‍රතිකාර කළ හැක්කේ කාන්තා කාර්ය මණ්ඩලයට පමණි. සිය නම හෙළි කිරීමට අකමැති වින්නඹු මවක් පවසන්නේ ගැබිනි මවක තනිව පරීක්ෂා කළ නිසා වෛද්‍යවරයෙකුට තලෙයිබාන් භටයන් විසින් පහර දුන් බවයි.

‘‘වෛද්‍යවරියක නැති නම්, වෛද්‍යවරයෙකුට කාන්තාවක පරීක්ෂා කළ හැක්කේ තවත් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් ඉදිරියේ පමණයි..‘‘

තලෙයිබාන් පාලනය තුළ මේ වන විට කාන්තාවන්ට ‘මහ්රාම්‘ කෙනෙකු හෙවත් පිරිමි ඥාතියෙකු නොමැතිව නිවසින් එළියට පැමිණීම ද තහනම් කර තිබේ. මෙය සායනවලට පැමිණෙන මව්වරුන්ට ද පොදු ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව ඇෆ්ගන් වැසියන් 10,000කට සිටින්නේ වෛද්‍යරුන්, හෙදියන් සහ වින්නඹු මාතාවන් 4.6 ක් පමණි.

‘‘එක රැයකින් හැම දෙයක්ම වෙනස් වුණා..‘‘ යැයි වෛද්‍යවරියක වන නබිසාදා කියයි. ඇය ප්‍රසව හා නාරි වෛද්‍යවරියකි. අගෝස්තු මස අග වන විට තලෙයිබානය, සුව සේවිකාවන්ට නැවත සේවයට වාර්තා කරන ලෙස නියෝග කළේ තර්ජනයක් ද සමගිනි. ‘‘අපිට නුඹලා සේවයට කැඳවීම ගැටළුවක් නොවන බවට විශ්වාසය තහවුරු කරන්න වෙනවා. ඒක කල් ගත වන දෙයක්..‘‘

සුව සේවකයන්ට මාස 3 කින් වැටුප් නැහැ

ඇෆ්ගනිස්ථානයේ සුව සේවක සේවිකාවන්ට අවම වශයෙන් මාස 3 කින් දැන් වැටුප් ලැබී නැත. අබීදා ද එයින් එක් අයෙකි. වැටුප් රහිතව නමුත් කෙසේ හෝ තවත් මාස 2 ක්වත් තමන් සේවය කළ යුතු යැයි ඇය සිතයි.

බෙහෙත් පෙත්තත් පිටින් ගේන්න!

‘‘මෙහෙ ඉන්න ඇෆ්ගන්වරුන්ට යුද්ධයෙන් සිදුවූ හානි ගැන දිනපතාම බොහෝ දේ අසන්නට ලැබෙනවා. නමුත් දරු උපත්වලදී වළක්වා ගත හැකි මාතෘ මරණ සහ ළදරු මරණ ගැන ඔවුන් කතා කරන්නේ ඉතාම අඩුවෙන්‘‘ එසේ කියන්නේ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හෙදර් බාර් ය. කාබුල් නුවර රෝහල්වල පසුගිය මැයි මාසයේ චාරිකාවක නිරත වූ ඇය දුටුවේ ඇතැම් රෝහල්, සේවකයන්ගේ වැටුප් සදහා අරමුදල් ඉතිරි කිරීම ට ඉතිරි සියලු පහසුකම් කපා හැර ඇති බවයි. දරු ප්‍රසූතියට සූදානම් වන කාන්තාවන්ට ඒ සඳහා අවශ්‍ය සියලුම දෑ ගෙදරින් ගෙන එන ලෙසට රෝහල කියා තිබිණි. අතේ නහරයට දමන කැතීටරය පවා එයට අයත් ය. අත් වැසුම්, ස්ටෙරිලයිසින් ද්‍රාවණ මේ සියල්ල ම රෝගීන් මුදල් ගෙවා පිටතින් ගෙන ආ යුතු විය. මේ වන විට ඖෂධ හිඟයක් ඇති වී තිබෙන හෙයින් අවශ්‍ය කරන බෙහෙත් පෙත්ත පවා පිටතින් මිලදී ගත යුතුව තිබේ.

ඇෆ්ගනිස්ථාන ජනගහනයෙන් 54.5%ක්ම ජීවත් වන්නේ දිළිඳු බවේ රේඛාවට පහළිනි. (මූලාශ්‍රය - ලෝක බැංකුව).

Photo collage illustrations by Elaine Jung from photographs courtesy Getty.

https://outboundtoday.com රදිකා ගුණරත්න