වසර අවසන් වන විට ඉරාකයෙනුත් ඇමරිකා හමුදා ඉවත් කරගැනීමට ජනාධිපති බයිඩන් සූදානමින්!

වසර අවසන් වන විට ඉරාකයෙනුත් ඇමරිකා හමුදා ඉවත් කරගැනීමට ජනාධිපති බයිඩන් සූදානමින්!

27 July 2021 10:29 am

මෙම වසර අවසාන වන විට ඉරාකයේ සිටින සිය හමුදා භට කණ්ඩායම එරටින් ඉවත්කර ගන්නා බව ඇමරිකානු ජනාධිපත් ජෝ බයිඩන් පවසයි.

එහෙත් අඛණ්ඩවම ඉරාක හමුදාව අවශ්‍ය උපදෙස් හා  පුහුණුව ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ජනාධිපති ජෝ බයිඩන් සහ ඉරාක අගමැති මුස්තාෆා අල් කදිමි සමඟ ධවල මන්දිරයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
 
ඉරාකයේ රජයේ හමුදාවන්ට සහය වෙමින් ඇමරිකානු භටයන් 25000ක් පමණ ඉරාකයේ රැඳී සිටින බවයි දැක්වෙන්නේ. 

එම භට කණ්ඩායම තවදුරටත් ඉරාකයේ රැඳවිය හැකි නමුත් ඉරක අගමැතිවරයාට ලබා දෙන සහයක් ලෙස ඔවුන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

පසුගිය වසරේදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාකයේ ඉදිරිපෙළ ජනරාල්වරයෙකු වන කසෙම් සොලෙයිමානි සහ ඉරානයේ සහය ලබන ෂියා මුස්ලිම් නායකයා ඝාතනය වීමෙන් පසු ඇමරිකානු හමුදා තවදුරටත් එරට රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධතා එල්ල විය.

ඉරාක රජයට සහය දක්වන යුද පුහුණුව ලද ෂියා මුස්ලිම්වරු සිටින කඳවුරු වෙත ඇමරිකානු හමුදා විසින් සිය ගණනක් රොකට්,මෝටාර් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම නිසා ඇමරිකානු හමුදා සිය භූමියෙන් ඉවත්විය යුතු බවටයි ඉල්ලීම් මතුව තිබුණේ.

කෙසේවෙතත් පසුගියදා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ ආරම්භ වූ යුද්ධයකය අවසානය මේ වසර අවසන් වන විට සනිටුහන් කරන බවයි. 

ඒ අනුව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත් කරගන්නා බව ජනාධිපති බයිඩන් සඳහන් කර තිබුණි. 

ඉරාකයෙන් සිය හමුදා ඉවත්කරගන්නා බවට ධවල මන්දිරයේදී ජනාධිපති බයිඩන් සිය රාජ්‍ය තාන්ත්‍රික මිතුරාට පවසා ඇත්තේ “අප මෙම නව අදියර කරා ගමන් කරන නමුත්  අපගේ ත්‍රස්ත විරෝධී සහයෝගීතාව දිගටම පවතිනු ඇති” බව යන්නයි. 

"අද අපගේ සම්බන්ධතාවය වෙන කවරදාටත් වඩා ශක්තිමත් ය. අපගේ සහයෝගිතාවය ආර්ථිකය, පරිසරය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සංස්කෘතිය සහ තවත් බොහෝ දේ සඳහා ය. නමුත් ඉරාකයට කිසිදු විදේශීය හමුදාවක් අවශ්‍ය නැත.'' යන්නෙන් ඊට ඉරාක අගමැතිවරයා ද ප්‍රතිචාර දක්වා තිබේ. 

ASK