තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද - AIADMK සහ DMK අතර කරට කර සටනක් !

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද - AIADMK සහ DMK අතර කරට කර සටනක් !

6 April 2021 12:00 pm

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද පැවැත්වෙනවා. ඉන්දීය මධ්‍යම රජයට පවා බලපෑම් සිදුකළ හැකි මට්ටමේ, තමිල්නාඩු දේශපාලනයේ ප්‍රබල චරිත දෙකක් වූ ජයලලිතා හා කරුණානිධි නොමැතිව පැවැත්වෙන පළමු ප්‍රාන්ත මැතිවරණය වීම හේතුවෙන් මෙවර මැතිවරණය සුවිශේෂී වේ.

ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් සඳහා මැතිවරණය පැවැත්වෙන අතර ඡන්දදායකයන් මිලියන 62.9 ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම අද පැවැත්වුනද අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීම සිදුවන්නේ මැයි 02 වැනිදායි.

මෙවර මැතිවරණයේදීදය සුපුරුදු පරිදි AIADMK ප්‍රමුඛ සන්ධානය සහ DMK ප්‍රමුඛ සන්ධානය අතර කරට කර සටනක් තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. AIADMK 2011 වසරේ සිට පිට පිට වාර දෙකක් ප්‍රාන්තයේ බලය හෙබවූ අතර තෙවැනි වරටත් බලය ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා. පසුගිය මැතිවරණ දෙකේදීම පරාජයට පත් වූ DMK මෙවර කෙසේ හෝ ජයග්‍රහණය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටී. ආසන 130 කට වැඩි ප්‍රමාණයක මෙම කඳවුරු දෙක අතර උණුසුම් සටනක් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් වසර 10 කට පසු DMK පක්ෂය මෙවර බලය හිමිකර ගනු ඇති බවයි අවසන් දින කිහිපය තුළ සිදුකර ඇති මත විමසුම්වලින් පැහැදිලි වන්නේ.

මේ අතර දකුණු ඉන්දීය සිනමාවේ සදාකාලික වීරයෙකු වන කමල් හසන්ගේ නායකත්වයෙන් යුක්ත  MNM පක්ෂය ප්‍රමුඛ සන්ධානයද ප්‍රධාන කඳවුර දෙකේම ඡන්දවල යම් බලපෑමක් සිදු කරනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ශ්‍රී ලංකාවටද වැදගත් වන අතර කෙසේ නමුත් කුමන කඳවුරක් බලයට පත් වුවද උතුරේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිවල සැළකිය යුතු වෙනසක් නොමැත.

UN