සඳ ගමනට වසර 50 යි - දැනගත යුතුම කරුණු 50 යි!

සඳ ගමනට වසර 50 යි - දැනගත යුතුම කරුණු 50 යි!

21 July 2019 04:27 pm

අදට වසර 50කට පෙර සිදුවූ මිනිසා සඳ මත පය තැබීම ඇමරිකාව විසින් තිර රචනය කළ මහා නාටකයක්ද? නමුත් සඳ ගමන ගැන මේ කරුණු ඔබ දැන සිටියාදැයි මුලින් කියවා බලන්න..

50-50 විශ්වාසය

ඊගල් මොඩියුලය සිතූ පරිදි සඳ මතට පහත් වේයැයි ගගනගාමීන් තිදෙනා තුළ විශාල විශ්වාසයක් නොතිබුණු බව පසුව කියැවිණි. කෙසේ නමුත් එය එසේ සිදුවිය.

Apollo 11 Mission Control

ඇපලෝ 11 යානයේ මෙහෙයුම් මැදිරිය - Source: NASA

සිය ජීවිතයේ ඉතිරි කාලය ද ඇපලෝ 11 මෙහෙයුම සඳහා කැප කළ නීල් ආම්ස්ට්‍රොන්, මෙම වැඩසටහන තුළ ස්වකීය අත්දැකීම් බෙදා ගැනීම කිහිප වරක්ම ප්‍රතික්ෂේප කළේය. ඔස්ට්‍රේලියාවේදී ඇලෙක්ස් මාලේ වෙත පැයක සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රථම සහ අවසන් වතාවට ඔහු මේ ගැන කතා කර තිබේ. එහිදී ඔහු පවසන්නේ සඳ ගමන ගැන තම සිතේ පැවති අවිනිශ්චිතතාවය ගැන ය.

‘‘අපි මේ සඳහා උත්සාහයක් දරන්නට තීරණය කළේ යානය දියත් කරන්නට මාසයකට පෙරයි. අපිට ආපසු පෘථිවිය වෙත එන්නට 90%ක අවස්ථාවක් තිබෙන බව අපි තීරණය කළා. පළමු උත්සාහයේදී සඳ මතට පය තැබීමට හැකි වේවි යන්න ගැන අපට තිබුණේ 50-50 විශ්වාසයක්! අපි සඳ මතට පය නොතබා ආපසු පෘථිවිය වෙත හැරී එන්නටත් ඉඩ තිබුණා!“

පරිගණක වැඩසටහන හදිසියේම අක්‍රිය වේ.

ඒ දක්වා ඉතා හොඳින් වැඩ කරමින් තිබූ ACG පද්ධතියේ හිටිහැටියේම දෝෂයක් හට ගත්තේය. එයින් සිදුවූයේ එය ගොඩබාන ක්ෂේත්‍රය නිශ්චිතව නිමානය කළ නොහැකි වීමයි. ඊගල් මොඩියුලය පාෂාණ බහුල ආවාටයක් මතට ගොඩ බස්සවන්නට ඒ අනුව සිදුවිය. ‘‘බෑවුමේ ආනතිය වැඩියි. පාෂාණ ඉතා විශාලයි. හරියට මෝටර් රථයක ප්‍රමාණයේ..“ ආම්ස්ට්‍රෝන් පසුව කීය. පද්ධතියේ ඇති ව තිබූ දෝෂය හේතුවෙන් ආම්ස්ට්‍රෝන් ඊගල් මොඩියුලය ‘මැනුවල්‘ ලෙස පදවා ගෙන යාම ආරම්භ කළේය. ඔහු ඒ සඳහා පෘථිවිය මතදී නිවැරදි පුහුණුවක් පවා ලබා තිබුණේ නැත. "I took it over manually and flew it like a helicopter out to the west direction, took it to a smoother area without so many rocks, and found a level area and was able to get it down there before we ran out of fuel,"

ආම්ස්ට්‍රෝන්ගේ හද ගැස්ම

සැටර්න් 5 රොකට්ටුව දියත් කරන විට අසාමාන්‍ය ලෙස සාමාන්‍ය තත්වයක, එනම් 110 bpm අගයක තිබූ නීල් ආම්ස්ට්‍රෝන් ඊගල් යානය සාර්ථක ලෙස සඳ මතට ගොඩ බස්සවන විට ඔහුගේ හද ගැස්ම වැඩි වී තිබිණි. එය 150 bpm ක් වූ බව නාසා ආයතනය සටහන් කර ගත්තේය. ඒ, සඳ මතට මිනිසා ගොඩ බැසීමේ සම්පූර්ණ ඉරණම තමන්ගේ දෑත් මත පැටවී තිබෙන බව ඔහු අවබෝධ කර ගත් අවස්ථාව වන්නට ඇත.

තව පොඩ්ඩෙන්...

ආම්ස්ට්‍රෝන් ඉන්ධන ගැන සිත් කරදර කර ගැනීම නිවැරදි ය. ‘‘නාසා ආයතනය බලාපොරොත්තු වුණේ ඉන්ධන අවසන් වීමෙන් විනාඩි 2 ක් ඇතුළත අපි සඳ මතට පය තබාවි කියා විය යුතුයි. නමුත් තත්පර 60ක් ගිය තැනත් අපි සිටියේ සඳට අඩි සිය ගණනක් ඈතින්..‘‘ යැයි එඩ්වින් ඕල්ඩ්‍රින් පසුව කීවේය.

මෙහිදී පෘථිවි විද්‍යාඥයන්ගේ අවබෝධ සීමාවෙන් එපිට බොහෝ දේ සිදුවන්නට ඉඩ තිබිණි. බලාපොරොත්තු විරහිත වායුගෝලීය තත්වයන්, ඝර්ෂණයන් සහ සඳ මතට පහත් වීමේ වේගය පවා අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකිය. ඇපලෝ 11 මෙහෙයුමේ පියාසැරි පාලකවරයා වූ ස්ටීව් බේල්ස් පසුව කීවේ, තමන් නිවැරදිවම දැන සිටි එකම දෙය යානය ‘නරක තැනක‘ ට ගොඩ නොබානු ඇත යන්න පමණක් බවයි. ‘‘එහෙම වුණා නම් මේ තුන්දෙනාම මොහොතකින් මළ මිනිස්සු වෙනවා..“

සඳ මතදී කතා කළ පළමු වචන

නීල් ආම්ස්ට්‍රෝන් පෘථිවිය අමතා මෙසේ කීවේය. "Houston, Tranquility Base here…the Eagle has landed." මේ වචන 08 ඇපලෝ වැඩසටහනට දායක වූ දහස් ගණනක මිනිස් මනස්වලට ගෙන ආවේ කුමන ආකාරයේ හැඟීමක්දැයි වචනවලින් විස්තර කිරීම අපහසු ය. ඊගල් මොඩියුලය සඳ මතට ගොඩ බෑ බව සනිටුහන් කළ ඒ වදන් පෙළ මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

ඒ සමගම ඔල්ඩ්‍රින් පැවසුවේ, ‘‘හරි එහෙනම් එන්ජිම නවතිනවා‘ යන්නයි. ඊගල්, සඳ මතුපිටට ගොඩ බෑ පසුව කළ යුතු දේවල් අතර පළමුවෙන්ම වූයේ එන්ජිම ක්‍රියා විරහිත කිරීමයි.

මොකක්ද මේ Tranquility Base ?

ආම්ස්ට්‍රෝන් පෘථිවිය අමතා කීවේ එහි සිට අමතන බව ය. නමුත් එය සැබවින්ම භෞතික දෙයක් නොවේ. එය, ඊගල් යානය සඳ මත ස්පර්ශ වූ පසුව ඔවුන් සිටින ස්ථානය හැඟවීම සඳහා කල් තබා පිළියෙළ කර ගත් යෙදුමකි.

සඳ මත පළමු කෑම වේල

අනතුරුව මොහොතක නිහඬතාවයකි. පෘථිවියේ සිය දේවස්ථානයේ දේව මෙහෙයන් සිදුකර පළපුරුද්දක් ඇති ඔහු ඉන්පසුව කළ යුතු දෙයෙහි පෙරමුණ ගත්තේය. communion යාඥාව සිදු කර පූපයක් අනුභව කර වයින් ස්වල්පයක් බීවේය. ‘‘ඉන්පසුව මම මේ ශාන්ත මුහුද වෙත තරුණ නියමුවන් දෙදෙනෙක් ගෙන ආ බුද්ධි මහිමයට සහ ධෛර්යයට ස්තූතිවන්ත වුණා.“ ඕල්ඩ්‍රින් මේ තිදෙනාගෙන් වැඩිමලා ද විය.

මිනිසා වෙනත් ලොවක් මත පය තැබූ නිමේෂය

එම මොහොත පෘථිවිය මත සටහන් වන්නේ පෙරදිග සම්මත වේලාවෙන් රාත්‍රී 10.56 ට ය.

මිනිසා සඳ මත පය තබන අයුරු බිලියන භාගයට වඩා නැරඹූහ.

https://www.youtube.com/watch?v=bDAunP8T5C0

නීල් ආම්ස්ට්‍රෝන් විසින් සඳ මත පය තබන ආකාරය ලොව පුරා මිලියන 600 ක් දෙනා සජීවී ලෙස නැරඹූ බව සටහන් වේ.

නීල් ආම්ස්ට්‍රෝන් ඇත්තටම කීවේ කුමක්ද?

නීල් ආම්ස්ට්‍රෝන් ඇත්තටම කීවේ කුමක්ද?අප සියල්ලන්ම එය අසා ඇත. "That's one small step for man, one giant leap for mankind" - ‘‘මෙය මිනිසාගේ එක් කුඩා පියවරකි. නමුත් මනුෂ්‍ය වර්ගයාගේ යෝධ පිම්මකි.“

නමුත් තමන් කීවේ එය නොවන බව නීල් ආම්ස්ට්‍රෝන් දිගින් දිගටම පවසා තිබේ. පෘථිවියට පැමිණීමෙන් පසුව නීල් ආම්ස්ට්‍රෝන් කීවේ, තමන් සත්‍ය වශයෙන්ම පැවසුවේ,  "That's one small step for a man, one giant leap for mankind," එනම්, ‘‘මෙය මිනිසෙකුට කුඩා පියවරකි. නමුත් මනුෂ්‍ය වර්ගයා සඳහා යෝධ පිම්මකි‘ යන්න බවයි. කෙසේ නමුත් ඒ වේලාවේ පෘථිවියේ මිනිසුන්ට එය ඇසී තිබුණේ එසේ ය. 'a' අකුරක අඩුපාඩුවක් මෙහිදී සිදුව තිබේ.

2006 වසරේදී පරිගණක වැඩසටහන් නිර්මාණය කරන්නෙකු වු පීටර් ෂාන් ෆෝඩ් විසින් ඒ අඩු වු ඒ අකුර නීල් ආම්ස්ට්‍රෝන් විසින් කියා ඇති බව සොයාගත්තේය. නාසා ආයතනය වෙතින් ලබාගත් හඬපටය මෘදුකාංග තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීම මගින් මෙය හෙළිකරගෙන තිබුණේ මිලි තත්පර 35 ක අඩුවක් තිබෙන බව සොයාගැනීම මගිනි.

සඳ ගමනට පෙර කෙටි නින්ද එපා කියති

සඳ ගමනට පෙර නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් කෙටි නින්දක් ලබාගත යුතු යැයි නාසා ආයතනය නිර්දේශ කර තිබුණත් ඔවුන් එය නොකිරීමට නාසා ආයතනයෙන්ම පසුව අවසර ඉල්ලා තිබිණි. මෙහෙයුම් පාලක මැදිරිය ඒ සඳහා ඔවුන්ට අවසරය ලබාදුන්නේය.

සඳ මත මුත්‍රා කළ පළමු මිනිසා -එඩ්වින් ‘බස්‘ ඕල්ඩ්‍රින්

එඩ්වින් ඕල්ඩ්‍රින් මිතුරන් අතර ප්‍රකටව සිටින්නේ ‘බස්‘ නමිනි. නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පය තැබූ පළමු මිනිසා වෙමින් ඓතිහාසික වාර්තාවක් තබද්දී ඔහු ද අමුතුම ආකාරයේ එනමුත්, අප්‍රකට වූ ඓතිහාසික වාර්තාවක් තැබුවේය.

මෙයට වසර 10 කට පෙර, එනම් සඳ ගමනේ 40 වැනි සංවත්සරය සමරමින් ඔහු අපූරු රහසක් හෙළි කර සිටියේ ප්‍රසිද්ධ වේදිකාව නරඹන්නන් සමූහයක් වෙත ය. ‘‘මම මගෙ කලිසමේ මුත්‍රා කළා..“ යැයි ඔහු කීවේය. ‘‘සඳ මත පුදුම තරම් පාළුයි..“ යැයි ද එසේ කීමට පෙර ඔහු සඳහන් කළේය. ඒ අනුව එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මතදී මුත්‍රාකළ පළමු මිනිසා වශයෙන් ද ඉතිහාස ගත වේ.

ඊගල් දොර අගුලු වැටීමේ අවදානමක්

එඩ්වින් ඔල්ඩ්‍රින්, සඳ මත පය තබමින් සිටි නීල් ආම්ස්ට්‍රෝන් සමග එක් වන විට ඔහුට පැවරී තිබූ ලොකුම රාජකාරියක් වූයේ ඊගල් යානයේ දොර අගුළු වැටෙන්නට ඉඩ නොතැබීමයි. එසේ වූවා නම් එය පිටතින් විවෘත කිරීම සඳහා යානයේ දොරට හැඬලයක් සවි කර තිබුණේ නැත.

සඳ ගඳයි!

Magnificent Desolation: The Long Journey Back from the Moon නමැති සිය ග්‍රන්ථයේදී එඩ්වින් ඕල්ඩ්‍රින් මෙසේ සඳහන් කරයි. ‘‘එය අමිහිරි ලෝහ ගන්ධයකින් යුක්ත වුණා. වෙඩි බෙහෙත් ගඳක් වගේ.. එහෙමත් නැතිනම් රතිඤ්ඤා කරලක් පිපුරුවාට පස්සෙ ඇතිවන ගඳ වගේ..‘‘ අනතුරුව සඳ මත ඇවිද ගිය ගගනගාමීන් ද මේ ප්‍රකාශයට සමපාත ප්‍රකාශ සිදුකර තිබේ. ඔවුන් පවසා තිබෙන්නේ චන්ද්‍රයා ‘තෙත අළු‘වල ගන්ධය සහිත බවයි.

කොඩිය සිටුවීම

Apollo 11 Planting the Flag

Source: NASA on the Commons/Flickr

චන්ද්‍රයා මත ඇමරිකානු කොඩිය සිටුවීම එදා මෙදාතුර කාලය තුළ විශාල ලෙස මතභේදයට තුඩු දී තිබෙන්නකි. සඳ මතට පය තැබීම මනුෂ්‍ය වර්ගයාගේ යෝධ පිම්මක් නම්, සිටුවිය යුතුව තිබුණේ අඩුම වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධජය මිස ඇමරිකානු කොඩිය නොවේ යැයි ඇතැම්හු කියති. තවත් අය කියන්නේ ඒ සඳහා කාලය, මුදල් පමණක් නොව ජීවිත 3 ක් ද පරදුවට තැබුවේ ඇමරිකානුවන් විසින් වන හෙයින් එසේ කිරීම නිවැරදි බවයි. එය අධිරාජ්‍යවාදී ප්‍රකාශනයක් බව ද ඇතැම්හු පවසති. මේ අතර පසුකාලීනව ඇමරිකානු කොංග්‍රසය නිල වශයෙන් ප්‍රකාශ කළේ නාසා ගගන මෙහෙයුමකදී භාවිතා කළ හැකි එකම ධජය ඇමරිකානු ධජය පමණක් බවය.

කොඩිය හිටෙව්වේ හිතුවාට වඩා අමාරුවෙන්

සඳ මතුපිට මුදු සහ පස් සහිත යැයි සිතා සිටියත් ඇපලෝ 11 යානයේ ගගනගාමීන්ට පෙනී ගියේ සඳ මතුපිට තුනී දුහුවිලි තට්ටුවකින් වැසී ගිය දෘඩ පාෂාණයක් සේ පවතින බවය. අවසානයේ එසේ අසීරුවෙන් සිටවූ කොඩිය වැඩි වේලා ඒ අන්දමින් පැවතුණේ නැත. ඔල්ඩ්‍රින් වාර්තා කරන්නේ ඔහු සහ නීල් ආම්ස්ට්‍රෝන් කොලොම්බියා යානය වෙත නැවත යාම සඳහා සඳ මතුපිටෙන් සමුගන්නා විට එම ධජය ඇළ වී බිම පතිත වීමට ආසන්නව පැවතියේ යැයි තමන් දුටු බව ය.

කොඩිය ගත්තේ කොහෙන්ද?

මෙම ඇමරිකානු ධජය Sears සමාගමෙන් මිලදී ගත් එකක් බව පැවසුණත් නාසා ආයතනය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය. එම සමාගමට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා නොදෙන්නට ඔවුන් උත්සුක වූවා විය හැකිය.

ඇපලෝ 11 ගොඩබාන අතරවාරයේ සෝවියට් සංගමය චන්ද්‍රිකාවක හැප්පෙයි!

මේ සියල්ලම මෙසේ සිදුවෙමින් තිබෙන අතරවාරයේ, සඳට සැතපුම් 530 ක් පමණ ඈතින්, සෝවියට් සංගමය ද සඳට දැනෙන දෙයක් කරන්නට වෙහෙස වෙමින් සිටි බව කියැවේ. එය ඒ වන විට ලෝක මහා බලවතුන් දෙදෙනා වූ ඇමරිකාව සහ සෝවියට් සංගමය අතර පැවති එදිරිවාදිකම ද සංකේතවත් කරයි. ලෝකයේ මුලින්ම මිනිසුන් සහිත යානාවක් පෘථිවි කක්ෂයට යැව්වේ ඇමරිකාව නොව සෝවියට් සංගමයයි. එදා, යූරි ගගාරින් පෘථිවි කක්ෂයට ගොස් වසර 12 ක් ගත වන තැන ඇමරිකාව සඳට මිනිසුන් 3 දෙනෙකුම යවන්නේ සෝවියට් සංගමයට එම සටනින් දැනෙන පරාජයක් අත් කර දෙමිනි. මේ අනුව ලූනා 15 චන්ද්‍රිකාව, ඇපලෝ 11 මෙහෙයුම අතරවාරයේ සඳෙහි කක්ෂගත ව සිටියේය. එම යානය එවා තිබුණේ සඳ මතුපිට නියැදි එක්රැස් කිරීම සහ ඒවා කැප්සියුලයක බහා පෘථිවිය වෙත එවීම පිණිස ය.

නාසා ආයතනය පැවසුවේ එම චන්ද්‍රිකාව, ඇපලෝ 11 මෙහෙයුම සිදුවෙමින් පැවති Sea of Tranquility හෙවත් ශාන්ත සමුද්‍රයට සැතපුම් 500 ක් පමණ දුරට කඩා වැටුණු බවයි.

චන්ද්‍ර ඵලකය

Apollo 11 Plaque

සඳ මත සිටවූ ඵලකය- Source: NASA/Wikimedia Commons

සඳ මත සිටවූ කොඩිය ගැන සියල්ලන්ම කතා වෙතත්, සඳ මත සවි කර ආ ඵලකය ගැන දන්නෝ අතළොස්සකි. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍ර්න් සැබවින්ම සඳ මත ඵලකයක් සිටුවා ආහ. එහි දැක්වුණේ මෙසේ ය.

Here men from the planet Earth first set foot upon the moon, July 1969, A. D. We came in peace for all mankind.

ක්‍රි.ව. 1969 ජූලි මස පෘථිවි ග්‍රහලෝකයෙන් පැමිණ සඳ මත පය තැබූ පළමු මිනිසුන් විසිනි. අප පැමිණියේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ සාමය වෙනුවෙනි.

එහි ගගනගාමීන් තිදෙනාට අමතරව ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් ද අත්සන් තබා තිබිණි.

සඳ මත දවසක්

නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සඳ මත පැය 21 ක් සහ විනාඩි 36 ක් අවසානයේ ගත කර තිබිණි. ඔවුන් ඊගල් යානයෙන් පිටත, එනම් චන්ද්‍ර පෘෂ්ටය ස්පර්ශ කරමින් ගත කළ කාලය පැය දෙකහමාරක් පමණක් වුවද, කොලොම්බියා යානය ආපසු පෘථිවිය කරා ගමන් ආරම්භ කරන තෙක් ඔවුන්ට එතුළ සුනංගු වීමට සිදුව තිබිණි.

ආපසු පැමිණේවිද?

සඳ මත පය තැබුවත් නැතත් ආපසු තමන්ට පොළොව කරා ඒමට පුළුවන් බවට නීල් ආම්ස්ට්‍රෝන් මුල පටන්ම විශ්වාස කළ ද, එය එසේ සිදු නොවීමට පවා ඉඩ තිබුණේය.

තමන් නැවත පොළොවට නොපැමිණේවි යන සැකය මත ඔවුන් විසින් ඒ වන විට තමන්ගේ ඡායාරූප සිය ගණනක් අත්සන් කර ඒවා නාසා ආයතනයට ලබා දී තිබුණේ, යම් හෙයකින් ඔවුන් අාපසු නොපැමිණියහොත් ඒවා වෙන්දේසි කර එයින් ලැබෙන මුදල්, සිය පවුල්වල අයට ලබාදීම සඳහා ය.

මයිකල් කොලින්ස් තනිව ගෙදර එන්න සිතයි!

ඊගල් යානය සඳ මතුපිටින් එසවෙන අන්දම කොලොම්බියා යානය තුළ සිටි මයිකල් කොලින්ස් නරඹා තිබෙන්නේ දැඩි අතීරණාත්මක බවකින් යුතුව ය. ‘‘ඔවුන් සඳ මතුපිටින් ආරෝහණය වෙන්නට අසමත් වුණොත්..‘‘ ඔහු සිය මතකය අවදි කරමින් පසුව ලීවේය. ‘‘එහෙමත් නැතිනම් එය සඳ මතටම කඩා වැටුණොත් මම සිය දිවි නසා නොගත යුතු බව මා සිතුවා. එසේ වුනොත් මම තනිවම ගෙදර යනවා..“

ජනපති නික්සන් විය හැකි නරකම දෙයට සූදානමින්

විය හැකි නරකම දෙය අපේක්ෂා කරමින් සිටි එකම කෙනා මයිකල් කොලින්ස් නොවේ. ඊගල් යානය නිරුපද්‍රිතව නොපැමිණියහොත් ජාතිය අමතා පැවැත්විය යුතු කතාව ඔහු කල් තබා සූදානම් කරගෙන සිටියා පමණක් නොව, එය කිහිප වතාවක්ම කියවා පුරුදු පුහුණු වී ද සිටියේය. එම සම්පූර්ණ කතාව මෙතැනින් කියවන්න.. [PDF]

එයින් කොටස් කිහිපයක් මෙසේ ය.

‘‘සාමයෙන් යුතුව චන්ද්‍රයා ගවේෂණය කිරීමට ගිය මිනිසුන් සඳ මතම සාමයේ සැතපීමට දෛවය විසින් තීරණය කර තිබේ.

මේ නිර්භය මිනිසුන් වන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් තමන්ට ආපසු නොහැකි බව දැන සිටිති. නමුත් සිය කැපවීම තුළ මනුෂ්‍ය වර්ගයාට බලාපොරොත්තුවක් තිබෙන බව ද ඔවුහු දැන සිටිති.

මේ මිනිසුන් දෙදෙනා මනුෂ්‍ය වර්ගයාගේ උතුම්ම අරමුණ වන සත්‍යය සහ අවබෝධය සොයාගැනීම සඳහා සිය ජීවිත කැප කර තිබේ…..

ෆෙල්ට් පෑනකින් දිවි බේරාගත් හැටි

එඩ්වින් ඕල්ඩ්‍ර්න් මුත්‍රා පහ කිරීමේ කතාව අමතක කළහොත්, සඳ ගමනේදී වඩාත්ම අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කළ මිනිසා ඔහු ය.

ඊගල් යානය සඳ මත පතිත වු පසුව එහි සර්කිට් බ්‍රේකරයේ ස්විචයක් කැඩී ගියේ ඔවුන් සඳ මත සදාකාලික සිරකරුවන් බවට පත්වීමේ අවදානමක් ඇති කරමිනි. සිය ඇඳුමේ උරහිස් පොකට්ටුවේ වූ ෆෙල්ට් පෑනක් ඇද ගත් ඕල්ඩ්‍රින්, සර්කිට් බ්‍රේකරයේ ස්විචය තිබිය යුතු ස්ථානයට එය රිංගවීය. Magnificent Desolation හිදී ඔහු මෙසේ කියයි. ‘‘පැය කිහිපයකින් ගණන් කිරීම ආරම්භ වූ විට සර්කිට් බ්‍රේකරය නැවත වැඩ කරන බව මම එයින් සනාථ කර ගත්තා. අන්තිමේදි අපි සඳෙන් පිටත් වෙලා එන්න සූදානම්..“

ඊගල් ගමන අරඹයි.

Apollo 11 Returns to Columbia

ඊගල් යානය කොළොම්බියා හමුවීමට යමින්. පහළින් දිස්වන්නේ සඳෙහි පෘෂ්ටයයි. - Source: NASA on the Commons/Flickr

පැය 124 ක් සහ විනාඩි 22 ක් ඇපලෝ 11 මෙහෙයුම සමග ගත කිරීමෙන් පසුව ඊගල් යානයේ එන්ජිම නැවත ගිනි දැල්වුණි. තත්පර 435 ක් තුළ එය නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් ව සඳ මතුපිට සිට සැතපුම් 11 ක් දුර රැගෙන ආවේය. ඉන්පසු චන්ද්‍රයා වටා ඇති කක්ෂයට ඔවුන් ව එක් කළේය.

සඳ මත දමා ආ දේ

ඔවුන් සඳ මත දමා ආ දේ මොනවාද? ඔවුන්ගේ යුගයට අයත් විද්‍යාත්මක උපකරණ සහ තවත් දේවල් කිහිපයකි. එයින් එකක් නම්, චන්ද්‍රයාගේ මතුපිටට වැටෙන ආලෝකය නැවත පරාවර්තනය කර යවන, විද්‍යාඥයන් විසින් භාවිතාකරන දර්පණයකි. අදටත් විද්‍යා ලෝකය භාවිතා කරන පෘථිවියේ සිට ඇති දුර මනින මාපකයක් ද ඔවුහු සඳ මත දමා ආහ.

අජටාකාශයට ගිය පළමු මිනිසා යූරි ගගාරින් මිග් 15 ජෙට් යානයකින් අජටාකාශ පියාසැරියක් සඳහා සූදානම් වෙමින් සිටියදී 1968 මාර්තු 24 දා මිය ගියේ වයස අවුරුදු 34 දී ය. මේ අතර ඇපලෝ 1 මෙහෙයුමේ පරීක්ෂණ අවස්ථාවක නියමු මැදිරියේ හටගත් ගින්නක් හේතුවෙන් ගගනගාමීන් තිදෙනෙක් මිය ගොස් තිබිණි. ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් මෙවැනි, එදා මෙදාතුර මිය ගිය යූරි ගගාරින් ඇතුළු සෝවියට් ගගනගාමීන් ඇතුළු පෘථිවි මිනිසුන් සැමරීම සඳහා ඔවුන්ට ගෞරවයක් වශයෙන් පදක්කම් කිහිපයක් ද සඳ මත තබා ආහ.

ඊට අමතරව,

  • ලෝක නායකයන් 73 දෙනෙකු සඳ ගමනට සුබ පතා පැවසූ දේ
  • සාමය සංකේතවත් කරමින් ඔලිව් අත්තක හැඩය ගත් රත්තරන් ඇල්පෙනිත්තක්
  • නීල් ආම්ස්ට්‍රෝන්ගේ කැමරාව ද ඔවුහු එහි දමා ආහ.

කොළොම්බියා සමග එක් වෙයි.

නියමිත පරිදි කොළොම්බියා යානයට ඊගල් යානය සම්බන්ධ වීම, අතිශය සීරුවෙන් කළ යුතු දෙයක් විය. ඒ සඳහා පැය 4 ක් ගත විය. එඩ්වින් සහ නීල් ආම්ස්ට්‍රෝන් සාර්ථක ලෙස කොළොම්බියා මොඩියුලය තුළට ඇතුළු වී ඊගල් මොඩියුලය තුළ වූ සියලුම දේවල් කොළොම්බියා තුළට ගෙන ආහ. ඒ, ඒවා නැවත පෘථිවිය කරා ගෙන ඒම පිණිස ය.

ඉන්පසුව ඩොකිං ටනලය මුද්‍රා තබනු ලැබිණි. කොළොම්බියා යානය සමග එක්වීමෙන් පසුව ඊගල්, කක්ෂගත සුන්බුන් කැබැල්ලක් බවට පත්වීමට නියමිතව සිටියේය. අවසානයේ එය චන්ද්‍රයාගේ කක්ෂයේ තනිකර දමනු ලැබීය.

සඳෙන් ගෙන ආ දේ

Apollo 11 Moon Rocks

-සඳෙන් ගෙන ආ පාෂාණ - Source: Michael Ames/Wikimedia Commons

ඊගල් යානය නැවත පොළොව කරා නොපැමිණියද ඊගල් යානයේ පැමිණි සියලුම දේ පොළොව කරා පැමිණි බව කීම නිවැරදි ය.

මුද්‍රා කරන ලද බහාලුම් තුළ දමාගත් චන්ද්‍ර පාෂාණ සහ චන්ද්‍රයාගේ දුහුවිල්ල ඒ අතරින් ප්‍රධාන ය. සඳෙහි තිබෙන ඇතැම් පාෂාණ අවුරුදු බිලියන 3.7 ක් තරම් පැරණි බව මිනිසා මුල් වරට දැන ගත්තේ ඒ අනුව ය.

ගෙදර බලා..

පෘථිවි නිවෙස් කරා ගගනගාමීන්ගේ ආපසු පැමිණීම එක් හේතුවක් නිසා අතිශය සුවිශේෂී විය.

සඳ තනිකර දමා කොලොම්බියා යානය ආපසු පෘථිවිය කරා ඇදී එන ගමනේදී ප්‍රචාලනය සිදුවිය යුතු වූයේ හරියටම තත්පර 11.2 ක කාලයක් සඳහා ය. මේ සඳහා මාග්‍රට් හැමිල්ටන් සහ අනෙකුත් නාසා ඉංජිනේරුවන් දෝෂ රහිත පරිගණක වැඩසටහනක් නිර්මාණය කර දී තිබිණි.

පෘථිවි වායුගෝලය තුළට නිරුපද්‍රිතව ඇතුළු වී..

Apollo 11 Splash Down

පැසිෆික් සයුර සිපගත් ඇපලෝ 11- Source: NASA

චන්ද්‍රයාගේ කක්ෂයෙන් නික්මී පැයකට සැතපුම් 5000 කට වඩා වැඩි වේගයකින් පැය 44 ක කාලයක් ගමන් ගැනීමෙන් පසුව කොලොම්බියා මොඩියුලය නිසි පරිදි තාප ක්ෂේත්‍රය ඉදිරියට යොමු වන සේ ස්ථානගත කර ගැනිණි. එයින් විනාඩි කිහිපයක් ඇතුළත කොලොම්බියා යානය පෘථිවියේ වායුගෝලයට ඇතුළු විය. ඉන්පසු පැරෂුට් සාර්ථක ලෙස මුදා හරිමින්, හවායි දූපත්වලට සැතපුම් 900 ක් බටහිරින් පැසිෆික් සයුරට එය වැටුණේය. USS Hornet නෞකාව විසින් එය මුදා ගැනිණි.

ඇපලෝ 11 මෙහෙයුම අවසානයේදී…

අවසානයේ ඇපලෝ 11 මෙහෙයුමට සම්පූර්ණ වශයෙන් පැය 195 ක්, විනාඩි 18 ක් සහ තත්පර 35 ක් ගත වී තිබිණි. මෙයට සඳ බලා යාම සහ පෘථිවියට නිරුපද්‍රිතව පැමිණීම ද අයත් ය. කෙසේ නමුත් මෙය සැලසුම් කළ කාලයට වඩා විනාඩි 36 ක ප්‍රමාදයකි.

කෙටියෙන් පවසන්නේ නම් මේ සඳ ගමනේදී නීල් ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් විසින් පැය 2 යි විනාඩි 31 ක කාලයක් සඳ මත ඇවිද යාමෙන් පසුව එක්රැස් කර ගත් චන්ද්‍ර පාෂාණ රාත්තල් 47.84 ක් ගෙනැවිත් තිබිණි. ඔවුන් සඳ මතුපිට පියවර 800 කට වඩා ඔබ මොබ ඇවිද තිබිණි.

ගගනගාමීන්ගේ විෂබීජ නසයි!

ඒ යුගයේ පැවති ප්‍රධානතම ගැටළුවක් වූයේ සඳ මත ජීවය පවතියි ද යන්නයි. චන්ද්‍ර මිනිසුන් හෝ චන්ද්‍ර සත්වයන් වැනි අය සඳ ට ගිය විට හමුනොවන බවට විශ්වාසයක් පෘථිවි මිනිසුන්ට තිබූ නමුත් සඳ මත ජීවයක් නැතැයි සිතීමට එය හේතුවක් නොවේ. වැදගත්ම ගැටළුව වූයේ චන්ද්‍රයා මත ක්ෂුද්‍ර ජීවීන් සිටියි ද යන්නයි. හුදෙකලා රළු චන්ද්‍ර පරිසරයට හැඩ ගැසී ඇති (විකරණය වූ) ජීවීන් සඳෙහි සිටිනවා වීමට පුළුවන. ඒ අතර විෂබීජ ද තිබිය හැක. මේවා හැඳින්වූයේ ‘ලූනා පැතජන්ස්‘ හෙවත් ‘චන්ද්‍ර විෂබීජ‘ යනුවෙනි. මේවායේ පැවැත්ම පිළිබඳ තහවුරු කර ගැනීමට සිදුවන්නේ චන්ද්‍ර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව ය. නමුත් සඳ මතට ගිය ගගනගාමීන් තිදෙනා? ඔවුන් මේ විෂබීජවලින් ආසාදනය වී තිබිය නොහැකිද? පෘථිවි ලෝකයට ආගන්තුක වූ යම් භයානක විෂබීජයකින්….?

මේ නිසා ඔවුන් සඳෙන් පැමිණි විට වහාම විෂබීජ නාශනයකට ලක් කිරීම, එනම් කොරන්ටින් කිරීම හෙවත් නිරෝධායනයට ලක්කිරීම පුදුමයක් නොවේ. ඒ අනුව යම්කිසි ආකාරයක ආසාදනයක් ඔවුන් කෙරෙන් පළ වේවිදැයි සොයාගැනීම සඳහා පුරා දින 21 ක් ඔවුන් මිනිස් සමාජයෙන් වෙන් කර නිරෝධාන කුටීරයක කල් ගත කළ යුතු විය. දැඩි වෛද්‍ය අධීක්ෂණයක් මේ කාලය තුළ ලබාදීම සිදු විය.

නිරෝධායන කුටිය තුළ තවත් දින 21 ක්

Apollo 11 Quarantine

Source: NASA on the Commons/Flickr

මොබයිල් කොරන්ටීන් මොඩියුලයක් වූ එය අද වන විට ටෙක්සාස් හුස්ටන් හි පිහිටා තිබෙන නාසා ආයතනයේ ‘ලූනා රිසීවින්‘ විද්‍යාගාරයේ දැකගත හැකිය. එය කොලොම්බියා සහ ඊගල් යානාවල කුටීරයට වඩා විශාල වූයේ යන්තමිනි. එය අඩි 35 ක් දිගු වූ අතර, නිදා ගැනීමට, ඔබ මොබ ඇවිදීමට වෙනම ඉඩකඩ ද, මුළුතැන් ගෙයක්ද, නාන කාමරයක් ද එය තුළ විය.

රේගුවට චන්ද්‍ර පාෂාණ ගැන නිල වාර්තා සහ නාසා ආයතනයට ට්‍රැවල් වවුචර් ලබාදීම

එඩ්වින් ඕල්ඩ්‍රින් ට්විටර් ගිණුමේ සිය නම සඳහන් කරන්නේ ‘බස් ඕල්ඩ්‍රින්‘ යනුවෙනි. මේ ඔහු ඒ ගැන තැබූ 2015 වසරේදී සටහනකි. චන්ද්‍ර පාෂාණ තමන් විසින් ගෙන ආ බවට ඇමරිකානු රේගුව හමුවේ නිල වශයෙන් කරන ප්‍රකාශය සහ සඳ ගමනේ වව්චරය මෙහි දැක්වේ. එඩ්වින් ඕල්ඩ්‍රින් පවසන්නේ සඳ ගමනේ තමන් කැමතිම සිහිවටනය මෙය වන බවයි.

Travel Vouchers

Declaration to Customs

ඇපලෝ 11 පරිගණකවල පියාසැරි කේතය දැන් අන්තර්ජාලයේ

ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම භාරවූ පරිගණක සඳහා සකස් කළ මෘදුකාංග කේතය, එනම් සොෆ්ට්වෙයා කෝඩ් එක මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ගතවූ දශක දෙක තුළ පරිගණක තාක්ෂණයේ සිදුවූ සීඝ්‍ර දියුණුව හේතුවෙන් මෙය Github වෙබ් අඩවිය වෙත නිකුත් කිරීමට මේ වන විට ඇමරිකානුවෝ සමත් වී සිටිති.

පසු සටහන

සඳ ගමන ඇමරිකානුවන් විසින් ලෝකයට කළ ලොකුම මුළාව බවත්, එවැන්නක් සැබවින්ම සිදු වී නැති බවටත් ලෝකයේ ජනප්‍රිය කල්පිතයත් හෝ මතවාදයක් තිබේ. ඒ පිළිබඳ ලිපි ද අන්තර්ජාලයේ සිය ගණනක් තිබේ. සඳ ගමන, පුරා වසර කිහිපයක් ඇමරිකාව විසින් ප්‍රවේශමෙන් පිටපත් කළ තිර රචනයක්යැයි ද අවසානයේ එය ලෝකයම ඉදිරියේ නාසා ආයතනය විසින් රඟ දැක්වී යැයි ද මතයක් තිබේ. නමුත් සඳ ගමනේ පුරාවෘත්තය ගැන සම්පූර්ණයෙන් හදාරන ඕනෑම අයෙකුට මේ මතවාදයන් ගැන ද චකිතයක් ඇති වීම ස්වභාවික ය.

මෙම ලිපිය දීර්ඝ එකක් බැවින් මෙහි පළවන්නේ එහි දෙවන කොටසයි. පළමු කොටස කියවීම සඳහා www.outboundtoday.com  වෙත පිවිසෙන්න..

පෙර ලිපිය - සඳ ගමනට වසර 50 යි - දැනගත යුතුම කරුණු 50 යි - 1 කොටස