එල් චැපෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්: ආයෙත් පනී ද?

එල් චැපෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්: ආයෙත් පනී ද?

18 July 2019 12:00 pm

කුප්‍රකට මෙක්සිකානු පාතාල කල්ලි නායක, එල් චැපෝ නමින් ලොකයේම වඩාත් ප්‍රකට වූ ජෝකින් එල් චැපෝ ගුස්මාන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබෙනවා. ඒ නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ පැවති නඩු විභාගයට ප්‍රතිඵලයක් ලෙසයි. මීට අමතරව ෆෙඩරල් අධිකරණය මගින් ඔහුට ඇමරිකානු ඩොලර් බිලියන 12.6 ක දඩයක් ද නියම කර තිබෙනවා.

කෙසේ නමුත් එල් චැපෝ පවසන්නේ මෙම දඬුවම යුක්තිසහගත නොවන බවයි. එල් චැපෝගේ නීතිඥයා පවසන්නේ එල් චැපෝ නීතිවිරෝධී ලෙස මෙක්සිකෝවේ සිට ඇමරිකාවට ගෙන ආ බවයි.

මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරිමට හැකියාව තිබේද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැත. කෙසේ වෙතත් එල් චැපෝගේ නීතිඥයා පවසන්නේ මෙම තීන්දුවට එරෙහිව ඉදිරියේදී ඇමරිකානු අභියාචනාධිකරණය වෙත යාමට බලාපොරොත්තු වන බවයි.

එල් චැපෝ ඇමරිකානු කලාපයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමේ මහ මොළකරු ලෙස කටයුතු කළ අතර සිනලෝවා කාටෙල් (Sinaloa Cartel) ජාත්‍යන්තර මාෆියා කල්ලියේ හිටපු ප්‍රධානියා ද වේ. 

එල් චැපෝ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ සිර කඳවුරුවලින් පළායාම සම්බන්ධයෙනි. ඔහු පළමු වරට 2001 වසරේදී සිර මැදිරියෙන් පළා ගිය අතර නැවතත් 2014 වසරේදී අත්අඩංගුවට පත්විය.

කෙසේ වෙතත් 2015 වසරේදී නැවතත් ඔහු සිර මැදිරියෙන් පළා යාමට සමත් වූ අතර එවර ඔහු එම වික්‍රමය සිදු කළේ ඉතා විධිමත් හා බරපතල ආරක්ෂාවක් ඔහු වෙනුවෙන් යොදවා තිබියදීය. ආරක්ෂක කැමරා පද්ධතියක් පවා ක්‍රියාත්මකව තිබියදී ඔහු පැනයාමට සමත් වූයේ ඉතා කුඩා විෂ්කම්භයක් සහිත උමගක් ආධාරයෙනි.

මෙවර ඔහු පළායාම සඳහා කුමන උපක්‍රමයක් භාවිතා කරන්නේද යන්න සම්බන්ධයෙන් ඇමරිකානු බන්ධනාගාර බලධාරීන් බරපතල ලෙස සිතනවාට කිසිදු සැකයක් නොමැත. ජීවිතාන්තය දක්වා එල් චැපෝ සිර මැදිරියේ රඳවා තබා ගැනීමට නම් ඇමරිකානු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අන් කිසිවෙකු වෙනුවෙන් හෝ භාවිතා නොකළ උපක්‍රම භාවිතා කිරීමට සිදු වනු ඇත.

UN