ටුටන්කාමන් හිසක් ඇමරිකානු ඩොලර් මිලියන 06 කට වෙන්දේසි වෙයි

ටුටන්කාමන් හිසක් ඇමරිකානු ඩොලර් මිලියන 06 කට වෙන්දේසි වෙයි

5 July 2019 12:30 pm

වසර 3000 ක් පමණ පැරණි පාරාවෝ ටුටන්කාමන් රජුගේ හිසක අනුරුවක් ලන්ඩනයේදී වෙන්දේසි කර තිබෙනවා. අදාල වෙන්දේසිය සිදුව ඇත්තේ ඊජිප්තු රජයේ දැඩි විරෝධය ද එල්ල වී තිබියදී බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ලන්ඩනයේ ක්‍රිස්ටීස් ආයතනය විසින් මෙම වෙන්දේසිය පවත්වා ඇති අතර එහිදී සෙන්ටිමීටර් 28.5 ක උසකින් සමන්විත මෙම පාරාවෝ හිස වෙන්දේසි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 5.97 ක මුදලකටයි. කෙසේ වෙතත් ගැණුම්කරුවා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ක්‍රිස්ටීස් ආයතනය මෙතෙක් හෙළිදරව් කර නැහැ.

වයස අවුරුදු 09 දී පාරාවෝ රජ තනතුරට පත් ටුටන්කාමන් ඉන් වසර 10 කට පසුව අවාසනාවන්ත ලෙස මිය ගියේය.

ඊජිප්තු බලධාරීන් තර්ක කරන්නේ මෙය සොරකම් කරන ලද්දක් බවයි. ඒ සම්බන්ධයෙන් ඊජිප්තුව එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ආයතනය හෙවත් යුනෙස්කෝවද දැනුවත් කර තිබේ. 

ඊජිප්තු ජාතිකයන් පිරිසක් මෙම වෙන්දේසියට විරෝධය පළ කරමින් ලන්ඩන්හි උද්ඝෝෂණයක් ද සිදුකර තිබේ. ඒ්එෆ්පී පුවත් සේවය වෙත ඔවුන් පවසා ඇත්තේ පුරාණ ඊජිප්තුවේ වඩාත් ප්‍රකට රජෙකු වූ ටුටන්කාමන්ගේ අනුරුවක් තිබිය යුත්තේ කෞතුකාගාරයක මිස නිවෙසක නොවන බවයි. එය ඊජිප්තු ඉතිහාසයට අගෞරවයක් බව ද ඔවුන් පවසා තිබෙනවා.

ඒ අනුව මෙම වෙන්දේසිය නවත්වා ටුටන්කාමන් රජුගේ අනුරුව නැවත ඊජිප්තුව වෙත ගෙනයාම ස ඳහා ඊජිප්තු බලධාරීන් උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක විය. ඊට හේතු වී ඇත්තේ අදාල අනුරුව සොරකම් කරන ලද්දක් බවට තහවුරු කිරීමට ඔවුන් සතුව කිසිදු සාක්ෂියක් නොමැති වීමයි.

UN