ට්‍රම්ප් උතුරු කොරියාවට පය තබයි

ට්‍රම්ප් උතුරු කොරියාවට පය තබයි

30 June 2019 06:03 pm

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද උතුරු කොරියාවට පැමිණ තිබෙනවා. මෙම ගමන ඓතිහාසික ගමනක් වන අතර ඒ අනුව උතුරු කොරියාවට පැමිණි පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉතිහාස පොතේ ලියවෙනු ඇත.

උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ යුද මුක්ත කලාපයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමු වූ අතර පැයකට අධික කාලයක් සාකච්ඡා පවත්වා තිබේ.

සිය රටට පැමිණ ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගනිමින් උතුරු ‍කොරියානු නායකයා පවසා ඇත්තේ කිසි විටෙකත් මෙවැනි අවස්ථාවක් බලාපොරොත්තු නොවූ බවයි. සිය රටේදී ඇමරිකානු ජනාධිපතිවරයෙකු හමුවීම සිහිනයක් ලෙස සිතූ බවත් කෙසේ හෝ ට්‍රම්ප් නැවත හමුවීම සතුටක් බවත් ඔහු පවසා තිබෙනවා.

ඉන්පසු නැවතත් දෙරටේ නායකයන් දකුණු කොරියාවේදී හමු වූ අතර එහිදී ඔහු පවසා තිබෙන්නේ අවාසනාවන්ත අතීතය තුරන් කර උතුරු කොරියාවට නව අනාගතයක් විවර කිරීම සඳහා ට්‍රම්ප් දක්වන දායකත්වය සම්බන්ධයෙන් සතුටු වන බවයි.

වසරක කාලයක් ඇතුළත උතුරු කොරියානු හා ඇමරිකානු නායකයන් හමු වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර පසුගිය පෙබරවාරියේ සිදු වූ හමුව අවසන් වූයේ න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් නොමැතිවයි.