’’ඇමරිකාව අසාර්ථකයි’’ - ඉරානයෙන් ප්‍රතිචාර

’’ඇමරිකාව අසාර්ථකයි’’ - ඉරානයෙන් ප්‍රතිචාර

24 June 2019 11:03 am

ඇමරිකාව විසින් දිගුකාලීන සැලසුමකට අනුව එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයෙන් සිය යුධ අවි පද්ධතියට හානියක් සිදුව නැතැයි ඉරානය අවධාරණය කරයි. 

දැඩි උත්සාහයකින් පසු වුවද ඇමරිකාව සාර්ථක වී නැති බවයි එරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් අසාරි ජෙරෝමි  සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. 

ඇමරිකාව විසින් එල්ල කරන ලද සයිබර් ප්‍රහාරය ඇත්තක්ද යන්න මාධ්‍යවේදීන් ද විමසා සිටි අතර තමන් ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ පසුගිය වසරේ පමණක් එවැනි ප්‍රහාර මිලියන 33ක් උදාසීන කළ බව යැයි අමාත්‍යවරයා සඳහන් කරයි. 

2007 වසරේ ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් සහිත කාර්මික යන්ත්‍රෝපකරණවලට පහර දීම සඳහා භාවිතා කරන ලද Stuxnet නමැති වෛරසය සම්බන්ධයෙන් හඳුනාගැනීමෙන් පසු එය සයිබර් ත්‍රස්තවාදය ලෙස දැක්වූ බව ඔහු පවසයි. 

එම වෛරසය යොදාගෙන ඉරානයේ නටාන්ස් නගරයේ යුරේනියම් බලගන්වන මධ්‍යස්ථානයට පහරදීමට යොදාගැනීමෙන් පසු 2010 වසරේදී එය නිශ්චිතව හඳුනා ගෙන තිබේ. 

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් එම වෛරසය වැඩිදියුණු කර ඇතැයි ඉරානය විශ්වාසය පළකරයි. 

ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානයක් පසුගිය බ්‍රහස්පතින්දා (20) ඉරානය වෙඩි තබා බිම හෙලීම ඇමරිකාව විසින් සයිබර් ප්‍රහාරය එල්ල කිරීමට හේතුවක් වී ඇති බව වාර්තා වී තිබුණි.  

ඒ අනුව එම සයිබර් ප්‍රහාරයෙන් ඉරානයේ යුධ අවි පරිගණක පද්ධතිය අකර්මන්‍ය වී ඇති බව වොෂින්ටන් පොස්ට් සහ AP නිවුස් ඒජන්සිය වාර්තා කර තිබූ අතර නිව්යෝර්ක් ටයිම්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ යම් කිසි කාලයක් එම පරිගණක පද්ධතිය ක්‍රියාත්මක නොවනු ඇති බවයි. 

මේ අතර ඉරානයේ සයිබර් ආරක්ෂාව සහ යටිතල පහසුකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ඒජන්සියේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් ඇමරිකාවට අනතුරු අඟවා තිබුණේ  ඇමරිකාවේ කර්මාන්ත සහ රජයේ ඒජන්සි වෙත ද්වේශ සහගත ලෙස සයිබර් ප්‍රහාර එල්ල කරන බවයි.  ඊට ඉරානයේ පාලන තන්ත්‍රය හා ඔවුන්ගේ හිතවතුන් සහය දක්වන බවද ඔහු පවසා තිබේ. 

ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති න්‍යෂ්ටික ගිවිසුමෙන් 2015 දී ඇමරිකාව ඉවත්වීම ඉරානය සහ ඇමරිකාව අතර මෙලෙස විරසකභාවය ඇති කර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ. 

ASK