MH17 බිම හෙළීම ගැන 4 කට අපරාධ චෝදනා

MH17 බිම හෙළීම ගැන 4 කට අපරාධ චෝදනා

20 June 2019 05:13 pm

2014 ජූලි මසදී කඩා වැටුණු මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 වෙනුවෙන් සැකකරුවන්ට අපරාධ චෝදනා

නැගෙනහිර යුක්රේනයේ සිට මිසයිලයක් විදීම හරහා මගීන් සහ කාර්ය මණ්ඩලයේ 298 දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙසේ චෝදනාවට ලක්ව සිටින්නේ රුසියානුවන් 3 දෙනෙකු සහ එක් යුක්රේන ජාතිකයෙකි. ඔවුන්ට විරුද්ධව නිකුත් කර තිබෙන්නේ අන්තර්ජාතික වරෙන්තු ය. නඩුව නෙදර්ලන්තයේදී 2020 මාර්තු 9 වැනිදා ආරම්භ වීමට නියමිත ය.

එදා 2014 ජූලි මාසයේදී මැලේසියානු ගුවන් සේවයට අයත් මේ මගී ප්‍රවාහන ගුවන් සේවය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා පියාසර කරමින් සිටියේය. හදිසියේම, ඒ වනවිට යුද්ධයට මැදිව තිබූ යුක්රේනයට ඉහළින් පියාසර කරන විට එයට මිසයිලයක් වැදුණේය. යානය කඩා වැටුණේය. සියල්ලෝම ජීවිතක්ෂයට පත්වූහ.

රුසියාව එක හෙළාම කීවේ මෙය යුක්රේන ගරිල්ලන්ගේ වැඩක් ය කියාය. මේ අතර යුක්රේන ජනපති Volodymyr Zelensky නම්, මේ සැකකරුවන් නම් කිරීම ගැන තමන් සතුටු වන බව පැවසුවේය.

සැකකරුවන්ගේ විත්ති

සැකකරුවන් 4 දෙනා අතරින් වඩාත්ම ප්‍රබලයා ලෙස සැලකෙන්නේ ඉගෝර් ගිර්කින් ය. ස්ට්‍රෙල්කෝ යනුවෙන් ද ඔහු ව හඳුන්වයි. ඔහු රුසියාවේ FSB රහස් ඔත්තු සේවයේ හිටපු කර්නල්වරයෙකි. යුක්රේනයේ ගරිල්ලන් විසින් අල්ලාගෙන තිබූ ඩොනසේක් නගරයේදී ඔහුව හැඳින්වුණේ ‘ආරක්ෂක ඇමති‘ යනුවෙනි. රුසියානු ෆෙඩරේෂනය සමග සෘජු සබඳතා පැවැත්වූ ඉහළම මිලිටරි නිලධාරියා ලෙස ඔහු සැලකේ.

සෙර්ගෙයි ඩුබින්ස්කි නොහොත් ‘ක්මූරි‘ ලෙස හඳුන්වන දෙවැනි සැකකරු රුසියාවේ GRU හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙක් වන අතර, ඔහු ඉගොර්ගේ දෙවැනියා ලෙස ද සැලකේ. ගෘෘ බුද්ධි අංශයට එංගලන්තයේ නොවිචොක් ප්‍රහාරයේ සැකකරුවන් ද අයත් බව මෙහිදී අමතක නොකරන්න.

මීළඟ සැකකරු වන ඔලෙග් පුලාටොව් නොහොත් ගුයිර්සා ද ගෘෘ හමුදා බුද්ධී අංශයේ සාමාජිකයෙකු බවට සැක කෙරේ. තවද ඩොනෙස්ක් පළාතේ බුද්ධි අංශ දෙවැනියා ලෙස කටයුතු කර තිබෙන්නේ ද ඔහු ය.

අවසන් සැකකරු වන යුක්රේන ජාතික ලියොනිඩ් කාර්චෙන්කෝ ට මිලිටරි පසුබිමක් නැත. නමුත් නැගෙනහිර යුක්රේනයේ භට ඛණ්ඩයක් ඔහු විසින් මෙහෙයවා ඇති බව බලධාරීහු කියති.

මේ සැකකරුවන් බෝයිං ගුවන් යානය බිම හෙළන මිසයිලය එල්ල කළ බවට ඇසින් දුටු සාක්ෂි එකක්වත් නැති බව සැබෑ ය. නමුත් ‘‘ගුවන් යානය මිසයිලයක් යොදාගෙන බිම හෙළීමේ ක්‍රියාව ඔවුන්ගේ සහයෝගයෙන් යුතුව සිදුකළ බවට කිසිදු සැකයක් නැහැ..“ යැයි ඕලන්ද හෙවත් නෙදර්ලන්ත බුද්ධි අංශ ප්‍රකාශ කරයි. යුක්රේනයට කඩා වැටුණු යානය සම්බන්ධයෙන් රුසියාව සහ යුක්රේනය වගවීමට හසු කර ගැනීමට අන්තර්ජාතික නීතිය කටයුතු කරන්නේ එසේ ය. "

එසේම විමර්ශකයෝ ඉතා වැදගත් තවත් නිරීක්ෂණයක් සිදු කරති. ‘‘සාක්ෂි වලින් පෙනී යන්නේ මෙම මිසයිලය දියත් කළ ‘මිසයිල ලෝන්චරය‘ රුසියාව විසින් සැපයූ එකක් බව ය!“

MH17 උඩු ගුවනේදීම දෙකට කැඩිලා!

ගුවන් යානය රුසියානු - යුක්රේන දේශසීමාවට කිලෝමීටර 30 ක් නුදුරින් කඩා වැටුණු හැටි

එය කඩා වැටුණේ බෙදුම්වාදීන් විසින් පාලනය කළ ඩොනෙස්ක් පළාතට ය. සුන්බුන් කොටස් වර්ග කිලෝමීටර 50 ක ප්‍රදේශයක් තුළ විසිරී තිබිණි.

යානයට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි සොයාගැනීමට වසරකටත් අධික කාලයක් ගත විය. 2015 ඔක්තෝබරයේදී ඕලන්ද විමර්ශකයන් සොයාගත්තේ රුසියාවේ නිෂ්පාදිත ‘බක්‘ වර්ගයේ මිසයිලයක් එයට වැදී ඇති බවත්, උඩු ගුවනේදීම යානය කොටස් දෙකකට කැඩී වෙන් වී ඇති බවත් ය.

අනතුරුව නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, මැලේසියාව සහ යුක්රේනය යන රටවල විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් විිසින් 2018 මැයි මාසයේදී නිගමනය කළේ මෙම මිසයිලය, බටහිර රුසියාවේ කුර්ස්ක් නගරයේ 53 වැනි ගුවන් යානා නාශක මිසයිල බ්‍රිගේඩයට අයත් බව ය. රුසියාවේ හැදූ මිසයිලය විශේෂ පාරකින් නැගෙනහිර යුක්රේනයට ගිය හැටි ගැන ද සාක්ෂි ලැබිණි.

නමුත් රුසියාව එක හෙළා කියා සිටියේ තමන්ගේ ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් යුක්රේන දේශසීමාව පසු කිරීමට කිසිම විදිහක් නැතැයි කියා ය. එසේ වුවත් ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය යන රටවල් දෙක නිල වශයෙන්ම කියා සිටියේ රුසියාව, යානය කඩා වැටීමට වග කිව යුතු බවයි.

රුසියානුවන් හිරේ යාවිද?

රුසියාව දැනටමත්, රුසියානුවන් මෙයට සම්බන්ධ බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් කියන්නේ මෙය, ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ හොඳ නම විනාශ කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ය කියා ය.

2015 ජූලි මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය, විශේෂ නිෂේධ බලය යොදා මෙම සිදුවීමට වග කිව යුත්තන් සෙවීමට විශේෂ අධිකරණයක් පත් කළේය.

නමුත් රුසියාව දණ ගස්සවන්නට පහසු නැත.

රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, එහි 61 වන වගන්තිය ප්‍රකාරව කිසිදු රුසියානු පුරවැසියෙක් වෙනත් රාජ්‍යයකට නඩු කාර්යයක් සඳහා උදර්පණය කළ නොහැක.

මේ අතර චෝදනා එල්ල වී තිබෙන එකම එක යුක්රේන ජාතිකයා ගැන විමසූ විට යුක්රේනය පවසන්නේ ඔහු ආගිය අතක් නැති බවය.

මිය ගිය අහිංසකයෝ

මියගිය 283 දෙනා අතරින් 80 දෙනෙකුම දරුවන් ය. 15 දෙනෙක් ගුවන් යානා කාර්ය මණ්ඩලයයි.

ඕලන්ද (නෙදර්ලන්ත ජාතිකයන්) 193 දෙනෙක්, මැලේසියානුවන් 43, ඔස්ට්‍රේලියානුවන් 27, ඉන්දුනීසියානුවන් 12, බ්‍රිතාන්‍ය ජාතිකයන් 10, බෙල්ජියම් ජාතිකයන් 4 ක්, ජර්මානුවන් 4 දෙනෙක්, පිලිපීන ජාතිකයන් 3 දෙනෙක්, එක් නවසීලන්ත ජාතිකයෙක් සහ එක් කැනේඩියානුවෙක් මේ ඛේදවාචකය හේතුවෙන් මරු වැළඳ ගත්හ.

‘අපි දවසින් දවස වයසට යනවා. මැරෙන්න කලින් මට මගෙ පුතාට සිද්ධ වුණු දේ ගැන කියන්න..‘‘ - මිය ගිය අයෙකුගේ මවක්

මේ මිය ගිය අහිංසකයන් කිසිවෙක් නැවත මෙලොවට නොඑන බව සැබෑ ය. නමුත් මිය ගිය අයගේ ඥාති හිතමිතුරන්ට මෙන්ම සකල ලෝකයටම සත්‍යය දැන ගැනීමේ අයිතියක් තිබේ. භූ දේශපාලන ආරෝවකට මැදි වූ බිමක් මතින් ඇදී ගිය ගුවන් යානයක සිටි අහිංසකයන් සිය ගණනක් දෙනා, දහස් ගණනක් වූ කැබලි බවට පුපුරුවා හැරියේ කවුරුන් විසින් කුමක් සඳහාදැයි දැනගැනීමේ අයිතියක් මේ මුළු ලෝකයටම තිබේ. 

- අමාලි ජයවීර | www.outboundtoday.com