මාලි රාජ්‍යයේ ප්‍රහාරයකින් 95 ක් මිය ගිහින්

මාලි රාජ්‍යයේ ප්‍රහාරයකින් 95 ක් මිය ගිහින්

11 June 2019 12:30 pm

අප්‍රික‍ාවේ මාලි රාජ්‍යයේ ගම්මානයකට ඊයේ (10) උදෑසන එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 95 දෙනෙකු මියගොස් තිබෙනවා. මීට අමතරව තවත් 19 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

මාලිහි මොප්ටි ප්‍රදේශයේ සුබානෙ-කොවු නමැති ගම්මානයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ගෝත්‍රික කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් මීට හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

සුබානෙ-කොවු ඩොගොන් ගෝත්‍රික ගම්මානයක් වන අතර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ෆුලානි ගෝත්‍රික කණ්‍ඩායමක් විසිනි.
අප්‍රිකානු රටවල විවිධ ගෝත්‍රික කණ්ඩායම් අතර නිරන්තරයෙන් මෙවැනි ගැටුම් ඇති වේ. ඇතැම් ගෝත්‍රිකයන් එවැනි ගැටුම්වලදී අතිශය ම්ලෙච්ඡ ආකාර‍යෙන් කටයුතු කරන අතර ෆුලානි ගෝත්‍රිකයන් විසින් මරා දැමූවන් පුළුස්සා දමා තිබේ. මීට අමතරව ගම්මානයේ ගෙවල් ගිනි තබා සතුන් ද මරා දමා ගොස් තිබෙනවා.

මෝටර් සයිකල් සහ පිකප් රථවලින් පැමිණි පුද්ගලයන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේදී ‍ඩොගොන් ගෝත්‍රිකයන් විසින් ෆුලානි ගෝත්‍රිකයන්ගේ ගම්මානයකට ප්‍රහාරයක් එල්ල කළ අතර ඊයේ සිදු වූයේ ඊට පළිගැනීමක් වන්නට ඇතැයි සැක කරනවා.