රසායනික පොහොර තහනම නිසා තේ, කටුපොල් වගා සමාගම් අවදානමක

රසායනික පොහොර තහනම නිසා තේ, කටුපොල් වගා සමාගම් අවදානමක

25 July 2021 07:43 pm

මුදල් මුද්‍රණය කිරීම මත විදේශ විනිමයේ හිඟයක් මතුව ඇති වාතාවරණයක් තුළ ඉකුත් දින ආනයන සීමා කිරීමට රජය තීරණය කරන ලදී. මීට සමගාමීව රජය විසින් පැනවූ රසායනික පොහොර තහනම නිසා තේ සහ කටුපොල් වගා සමාගම් වල වැවිලි කටයුතු අවදානමක පවතින බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය පෙන්වා දෙයි.

ෆිච් ආයතනය පෙන්වා දෙන්නේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීම කොටගල වැවිලි සමාගම, සන්ෂයින් වැනි කටුපොල් වගාවට සම්බන්ධ ව්‍යාපාර වලට ණය සෘණාත්මක තත්ත්වයක් ඇතිකළ හැකි බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 400 ක පමණ වූ වාර්ෂික මුදල් පිටතට යාමක් වළක්වා ගැනීමේ අරමුණින් රජය විසින් රසායනික පොහොර තහනම පනවන ලද්දේ ඉකුත් මැයි 06 වන දිනය.

මේ වන විට ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටී. මුදල් මුද්‍රණය කිරීම මත විදේශ සංචිත වලට එරෙහිව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමේ වගකීම මහ බැංකුවට පැවරී ඇත.

කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ, රසායනික පොහොර තහනම දිගටම පැවතුනහොත් දේශීය තේ නිෂ්පාදනය සියයට 40 ත් 50 ත් අතර ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති බවය.

එළඹෙන වසරක කාලය සඳහා සැපයීමට ශ්‍රී ලංකා රජය සතුව රසායනික පොහොර තිබෙන බවට ආරංචිමාර්ග පවසන මුත්, මෙහි සත්‍ය අසත්‍යතාව අවිනිශ්චිත බව ෆිච් ආයතනය අවධාරණය කරයි.

පොහොර තහනම කොටගල වැවිලි සමාගමට සෘණාත්මකව බලපාන මුත්, සන්ෂයින් සමාගමට එහි කිරි නිශ්පාදන ක්‍රියාවලිය හරහා ලැබෙන කාබනික පොහොර මඟින් මෙම අවදානම යම් තරමකින් හෝ පාලනය කර ගැනීමට හැකි වනු ඇති බවටයි ෆිච් ආයතනය අනුමාන කරන්නේ.

එමෙන්ම, රසායනික පොහොර තහනම දිගටම ක්‍රියාත්මක වූවහොත් දේශීය වෙළඳපළ තුළ තේ මිළ ඉහළ යනු ඇති බවට ද ෆිච් ආයතනය අනතුරු අඟවයි.

ඉහළ තේ මිල හරහා අස්වැන්න පහත වැටීම තුලනය කර ගැනීම තේ කර්මාන්තයට අභියෝගයක් විය හැකි බවද එම ආයතනය පෙන්වා දෙයි.

මීට අමතරව, ඉදිරි කාලය තුළ රසායනික පොහොර භාවිතා කිරීමට නොහැකිවීම හේතුවෙන් තේ මිළ කිලෝවකට ඇමරිකානු ඩොලර් 5 ඉක්මවා යනු ඇති බවට ද එම ආයතනය අනුමාන කරයි.

මෙතෙක් තේ වල වාර්තා වී තිබූ ඉහළම මිළ වූයේ කිලෝවකට ඇමරිකානු ඩොලර් 4.30 කි. ඒ 2017 වර්ෂයේදී ය.

ගතවූ කාලය තුළ තේ මිළ පහත වැටී තිබිණි. ඒ තේ වල ගුණාත්මකභාවය පහත වැටීම නිසාවෙනි. මෙයට රසායනික පොහොර හිඟය බලපෑමක් සිදුකළ බවට ඇතැමුන් විශ්වාස කරයි. කෙසේවෙතත්, මෙය විද්‍යාත්මක වශයෙන් මේ වන තුරු සනාථ කර නොමැත.

MIAP