ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එන්නැයි ජනපති චීනයේ බොආඕ සමුළුව අමතමින් විදෙස් ප්‍රබලයින්ගෙන් ඉල්ලයි ...

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එන්නැයි ජනපති චීනයේ බොආඕ සමුළුව අමතමින් විදෙස් ප්‍රබලයින්ගෙන් ඉල්ලයි ...

21 April 2021 07:36 am

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) අන්තර්ජාලය ඔස්සේ චීනයේ බොආඕ සංසදයේ සමුළුව ඇමතුවේය. මෙය ලෝක නායකයින් සහ ව්‍යාපාරික ප්‍රබලයින් සහභාගී වන සමුළුවකි. ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා පැමිණීමට රටවල් දිරිමත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය. 

"ශතවර්ෂ ගණනාවක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අන්‍යෝන්‍ය ගෞරවය විශ්වාසය සහ සහයෝගීතාව මත පදනම් වූ ශක්තිමත් ක්‍රමෝපායික සහයෝගී හවුල්කාරීත්වයක් පවත්වාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් ක්ෂේත්‍රයන් උදෙසා අතිගරු ෂී ජින් පින් ජනාධිපතිතුමා සහ චීන රජය විසින් ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය මම අගය කරනවා. 

ශ්‍රී ලංකාව සියලුම මිත්‍ර රටවල්, විශේෂයෙන්ම ආසියාතික රටවල්වල සහයෝගය අපේක්ෂා කරන නව ජවයකින් යුතු විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනවා. එය සමානාත්මතාවය හා නොබැඳි කොන්දේසි මත පදනම්ව තිබෙනවා. මෙම සමානාත්මතාව පවත්වාගෙන යාමේදී ස්වාධීන රාජ්‍යයන්හි ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුයි. කලාපයේ දීර්ඝ කාලීන සංවර්ධන අභිලාෂයන් අරමුණ කරගත් සේදමාවත ප්‍රවේශයෙන් කලාපීය රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් එක්ව පොදු කාර්යයක් සඳහා එකට වැඩකිරීමට හැකිවී තිබෙනවා. එවැනි මුලපිරීම් ප්‍රශංසනීයයි. 

අපගේ බලාපොරොත්තුව ණය ගැනීම නොව ආයෝජන දිරිමත් කිරීමයි. වාසිදායක බදු ව්‍යුහයක් සහ වෙනත් දිරිගැන්වීම් ඇතුළුව විදේශ සෘජු ආයෝජන සඳහා අපි ආකර්ෂණීය ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. බොආඕ සංසදයේ සාමාජික රටවල්වලින් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආයෝජන සඳහා ගමනාන්තයක් ලෙස සලකන ලෙස. එමෙන්ම එම රටවල් මගින් අප රට තුළ තවත් ව්‍යාපාර ඇරඹීමට ධෛර්යමත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා" යනුවෙනුයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. 

RN