දිලිත් ජයවීරට එල්ල කළ ප්‍රහාරය අසාධාරණයි

දිලිත් ජයවීරට එල්ල කළ ප්‍රහාරය අසාධාරණයි

25 November 2020 10:18 am

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම හා එහි සභාපති දිලිත් ජයවීර මහතා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක පුවත් පළ කළ මැයෙන් සිරස / එම්ටීවී නාලිකා වලට එරෙහි ව ගොනු කළ නඩුවේදී කොළඹ දිසා අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර සිටියේ දිලිත් ජයවීර, ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම හෝ එහි නිලධාරීන් ඉලක්ක කරගනිමින් කිසිදු ප්‍රහාරාත්මක පුවතක් පළ කිරීම තහනම් බවයි. 

දිලිත් ජයවීර මහතා ට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් සාමාගම ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂා කට්ටල (rapid antigen test kits) ගෙන්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දින වල පළ කළ පුවත් ප්‍රහාරාත්මක මුහුණුවරක් ගත් අතර, ඊට අදාළ නඩුවේදී එම සමාගම පෙන්වා දුන්නේ ජනතාව නොමඟ යැවීම සහ එමඟින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් මෙන්ම ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි හි සභාපතිවරයා ද අපකීර්තියට පත් කරනු වස් සාවද්‍ය, ද්වේශ සහගත සහ අශෝභන පුවත් පළ කිරීමට අදාළ මාධ්‍ය ආයතන කටයුතු කර ඇති බවයි. 

 

සිරස / එම්ටීවී නාලිකාවට කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය දෙසැම්බර් 07 වන දින දක්වා බලපැවැත්වෙනු ඇත.

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම කොවිඩ් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂා කට්ටල ගෙන්වීම පිළිබඳ ආන්දෝලනාත්මක කතිකාවක් හට ගැනීම ආරම්භ වූයේ විවිධ පාර්ශවයන් විසින් එකී සමාගම නිසි පටිපාටීන් අනුගමනය කිරීමකින් තොරව අදාළ පරීක්ෂා කට්ටල ශ්‍රී ලංකාව වෙත ගෙන්වීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල කිරීමත් සමඟය. සියළු ක්‍රියාපටිපාටීන් නිසි පරිදි අනුගමනය කර ඇති බවට අදාළ සමාගම නැවත නැවත් අවධාරණය කර ඇති පසුබිමක පවා මෙවන් චෝදනාවක් ගොනු කිරීම ව්‍යාපාරික වශයෙන් පවතින තරඟකාරීත්වය මත හට ගන්නා ලද්දක් බවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂා කට්ටල ශ්‍රී ලංකාව වෙත ගෙන්වීමේදී ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සියළු අවසරයන් සහ ක්‍රියාපටිපාටීන් අනුගමනය කර ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට සමීප ආරංචිමාර්ග පවසා සිටියේ අදාළ සමාගම විසින් 2020 ඔක්තෝබර් මස මුලදී නිෂ්පාදන ලියාපදිංචි කිරීම සඳහා ජාතික වෛද්‍ය පර්යේෂණ සංගමයේ (NMRA) අනුමැතිය ද ලබාගෙන ඇති බවයි. ඒ අනුව, එක් රැපිඩ් පරීක්ෂාවක් සඳහා රු. 1,146.22 ක නියාමනය කළ මිලකට යටත් ව සෞඛ්‍ය සේවාවට අනුයුක්ත කළ යුතුය යන කොන්දේසිය යටතේ වෛද්‍ය පර්යේෂණ සංගමය අදාළ පරීක්ෂා කට්ටල සඳහා තාවකාලික ලියාපදිංචියක් ලබා දී ඇත. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයක් ඔස්සේ ඉකුත් නොවැම්බර් 03 වන දින අදාළ පරීක්ෂා කට්ටල තොගය දිවයිනට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර, ඊට අදාළ ගුවන් ගමන් ගාස්තු සහ වෙනත් වියදම් සඳහා ද ගෙවීම් සිදු කොට තිබේ. 2008 වසරේ ශ්‍රී ලංකාවේ රෝග විනිශ්චය ඒකකය පිහිටුවීමෙන් පසු විවිධ රෝග සඳහා අවශ්‍ය ක්ෂණික පරීක්ෂා කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම කාර්යභාරය සිදුකරන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම බවට සඳහන් වේ. 

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්ට අයත් මව් සමාගම මීට වසර 33 කට පමණ පෙර ආරම්භ කරන ලද අතර, එතැන් පටන් ලොව පුරා සමාගම් 60 කට අධික සංඛ්‍යාවක් සමඟ ව්‍යාපාර කටයුතු සිදුකොට තිබේ. එය වසර 100 කට වඩා පැරණි ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් සමාගමේ අනුබද්ධ ආයතනයකි. 

 


දිලිත් වටා ගෙතුනු මතභේද  

විවිධ අවස්ථාවන්හීදී ආන්දෝලනාත්මක මත ප්‍රකාශ කරන බවට ප්‍රසිද්ධ දිලිත් ජයවීර මහතා වර්තමානයේ ව්‍යාපාරික අංශයේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ද ප්‍රභල චරිතයකි. 2011 වසරේදී දී එල්එම්ඩී සඟරාව විසින් ඔහු ‘වසරේ හොඳම ව්‍යාපාරිකයින්’ දස දෙනා අතරට නම් කරන ලදී. එම සඟරාවේ ම 2020 දී ශ්‍රී ලංකාවේ වර්ධන වේගය අඛණ්ඩව ඉදිරියට රැගෙන යන ව්‍යාපාරිකයින්ගේ ලැයිස්තුවේ ආයතනික නායකයින් 100 දෙනා අතරට දිලිත් ජයවීර මහතා එක් විය.

ඔහු ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ වත්මන් සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලයන්ගෙන් එකක් වන ටීවී දෙරණ හි අධිපතිවරයා ය. වෘත්තියෙන් නීතීඥයකු වන දිලිත් ජයවීර මහතා 1993 වසරේ දී ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් (පුද්) සමාගම ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී දේශීය වෙළඳ ප්‍රචාරණ ආයතනය වන්නේ ට්‍රයඩ් සමාගමයි.

ආයෝජන ප්‍රවාහයට දායක වන ඔහුට අයත් ආයතන අතර, දෙරණ රූපවාහිනිය සහ ලිබර්ටි පබ්ලිෂර්ස් ඇතුළත් වේ. ලිබර්ටි පබ්ලිෂර්ස් විසින් ජාතික මට්ටමේ පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කරයි - ඒ අරුණ පුවත්පත සහ ද මෝනිං නම් එහි ඉංග්‍රීසි පුවත්පත යි.