හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස

හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස

24 August 2020 02:06 am

සිරිසේන ජනපති විසින් පත්කළ බැඳුම්කර කොමිසම කළේ කුමක්ද නොකළේ කුමක්ද යැයි කෙනෙකු ඇසුවහොත් එයට දීමට තිබෙන තනි වාක්‍යයේ පිළිතුර වන්නේ ‘බැඳුම්කර වංචාවේ මහමොළය (අගමැති රනිල් වික්‍රමසිංහ) වසං කිරීම‘ සහ ඔහුව අල්ලාගැනීමෙන් වැළකෙන අතරතුර හිටපු මහබැංකු අධිපති කබ්රාල්ව දඩයම් කිරීමට උත්සාහ දැරීම‘ යන්නයි. 

මේ කොමිසම අවසානයේ මල්වෙඩි දහසක් මැද පිටු 206 ක් සහ ඇමුණුම් සමග පිටු 946 කින් යුතු වාර්තාවක් එළිදැක්වූයේය. එයින් සත්‍ය වංචාව හෙළිදරව් කිරීමට හැකි වූයේ නැත. නමුත් යම් යම් අංශුමාත්‍රයන් පිටතට ගැනීමට එය පරිස්සමෙන් හදාරන්නෙකුට හැකියාව තිබේ.

අවසානයේ පෙනී ගියේ මෙම කොමිෂන් සභාවේ ක්‍රියාවන්, නිගමන, සොයාගැනීම් සහ නිර්දේශවලින් පහත කරුණු මතුවන බව ය. 

(අ) වංචාව ක්‍රියාත්මක කිරීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහගේ භූමිකාවට දක්ෂ ලෙස සුදු හුණු ගෑම සහ (හැකි සෑම තැනකදීම) ප්‍රධාන සැකකරුවෙකු වන අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම:
(ආ)  2016 මාර්තු මස සිදුවූ දෙවන බැඳුම්කර වංචාවට වගකිව යුතු පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම දක්ෂ ලෙස වළක්වා ගැනීම:
(ඇ)  දැවැන්ත පෞද්ගලික ලාභ ඉපැයීම සඳහා දැවැන්ත ලෙස රාජ්‍ය අරමුදල් භාවිතා කර ඇති බව සියුම් ලෙස නොසලකා හැරීම:
(ඈ)  එවකට අග්‍රාමාත්‍ය වික්‍රමසිංහගේ ‘හොඳ අය‘ බවට පත්ව සිටි ඇතැම් එක්සත් ජාතික පක්ෂ නායකයන් වන (සභාපති) මලික් සමරවික්‍රම සහ (මහලේකම්) කබීර් හසීම් මෘදු ලෙස හා බාධාවකින් තොරව ආරක්ෂා කර ගැනීම:
(ඉ)  අගමැති රනිල් වික්‍රමසිංහ සමග එවකට ‘හොඳ අයෙකු‘ බවට පත්ව නොසිටි එක්සත් ජාතික පක්ෂ සහකාර නායක රවී කරුණානායකව රළු සහ සතුරුකාරී විලාසයකින් ඉතාම උනන්දුවෙන් යුතුව විනාශ කර දැමීම:
(ඊ)  හැකි උපරිම සීමාව දක්වා අර්ජුන මහේන්ද්‍රන් ව පරිස්සමෙන් යුතුව ආරක්ෂා කිරීම සහ මහේන්ද්‍රන්ගේ ක්‍රියාවන්ට හැකි සෑම විටකදීම සුදුහුණු ගෑම: සහ,
(උ)  පවතින ප්‍රශ්නයෙන් අවධානය වෙනතකට හැරවීම පිණිස වංචාව පිළිබඳ දෝෂාරෝපණයෙන් යම් කොටසක් ‘2015 ට පෙර‘ පරිපාලනය වෙත මාරු කිරීම සඳහා (විශ්වාසනීය කුඩාම සාක්ෂියක් හෝ ඒ පිළිබඳව ඉදිරිපත් නොවුණත්) විශේෂඥ භාවයෙන් යුතුව කටයුතු කිරීම. 

මැන්ඩේටයෙන් පිට පැනීම

මෙම කොමිෂන් සභාව ප්‍රධාන වශයෙන්ම කළේ මැන්ඩේටයෙන් පිට පැනීමයි. නීතියේ හැටියට නම් මැන්ඩේටයෙන් ආවරණය වූයේ, එනම් කොමිෂන් සභාව සෙවිය යුතු වූයේ  2015 පෙබරවාරි 01 දා සිට 2016 මාර්තු 31 දා දක්වා සිදුවූ මහා බැඳුම්කර වංචාවන් ගැන ය. නමුත් කොමිසම ඒ වෙනුවට සෙව්වේ ඊට කලින් මහබැංකුව කළ කී දෑ ගැන ය. නිශ්චිතවම පවසන්නේ නම්, 2015 ජනවාරි 8 වැනිදාට පෙර, එනම් කලින් ආණ්ඩුව යටතේ මහබැංකුව කළ කී දෑ ගැන ය. 

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විධායකය සහ ආණ්ඩුව සමග දේශපාලනික ලෙස සම්බන්ධ වී සිටියේ යැයි ද, එනිසා මහබැංකුව ‘යම් තරමකට දේශපාලනීකරණය වී තිබුණේ‘ යැයි ද බැඳුම්කර කොමිසමේ වාර්තාවේ මුල් ඡේදවල සඳහන් ය. 

කබ්රාල් දඩයම පටන් ගත් හැටි 

මේ අනුව ‘පොදු අවකාශය‘තුළ වූ තොරතුරු මත තමන් රඳා සිටින බව බැඳුම්කර කොමිසම කීවේය. කබ්රාල්ව දුෂ්ටයා කිරීමට වැඩි වශයෙන්ම යොදාගත්තේ එකී ඊනියා පොදු අවකාශය නොහොත් සරල ලෙස කියන්නේ නම් අන්තර්ජාලය ඇතුළු මාධ්‍යවල පළවූ පුවත් ය. දේශපාලනික වශයෙන් එක්සත් ජාතික පක්ෂයට හිතෛෂී අය සහ ප්‍රබලයන් විසින් පළ කරවූ පුවත් මෙහිදී කබ්රාල්ව දඩයම් කරන්නට යොදා ගෙන ඇති බව පොඩි ළමයෙකුට වුවත් වැටහෙන කාරණයකි. 

ඒ කියන පොදු අවකාශය තුළම පහත කාරණා ද පවතින බව කොමිසම ට නොපෙනුණේ, අගමැති ආනුභාවයෙන් අන්ධ වී සිටි නිසා ද?

- ශ්‍රී ලංකා මහබැංකු ඉතිහාසය තුළ ආර්ථික සහ මිල ස්ථායිතාවය පවත්වාගැනීම අළලා එදාමෙදාතුර හොඳම වාර්තාව පවතින්නේ 2006-2014 කාල පරිච්ඡේදය තුළ ය. 

- එහිදී ආර්ථික උද්ධමනය මධ්‍ය තනි ඉලක්කමක පවත්වා ගැනීමට මහබැංකුව සමත් වී තිබේ. 

- දැවැන්ත ආර්ථික, ආහාර, තෙල් සහ බැංකු අර්බුද ලොව පුරා සිදුවෙමින් පැවතියත් රට තුළ මූල්‍ය පද්ධතියේ ස්ථායිභාවය පවත්වාගැනීමේ නිර්දෝෂී වාර්තාවක් සැපයීමට මේ කාලය තුළ මහබැංකුව සමත් වී ඇත. 

- 2005 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 24.4 ක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2014 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 79.3 දක්වා පෙර නොවූ විරූ වර්ධනයක් ලබා ගත්තේය. එය එදා මෙදාතුර ඉතිහාසයේ වැඩිම වේගයකින් ලබාගත් දළ දේශීය නිෂ්පාදිතයයි. 

- 2006 සිට 2014 දක්වා වසර 9 සඳහා 6.4%ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් - මෙය නිදහසින් පසු ඉතිහාසය තුළ ලංකාවේ එදා මෙදාතුර ලබාගත් වැඩිම ආර්ථික වර්ධන වේගයයි.  

- 2005 වසරේදී ඇ.ඩො. 1,242ක් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2014 වසර තුළ ඇ.ඩො. 3,821 ක් දක්වා ඉහළට

- යන්තමින් ඇ.ඩො. බිලියන 2.7 ක් පමණක් වූ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික විදේශ සංචිතවල වටිනාකම 2005 වසරේදී  අතර, 2014 වසර වන විට එය ඇ.ඩො. බිලියන 8.2කට ඉහළට 

- 2006 සිට 2014 දක්වා වසර 9කට අධික කාලයක් මුළුල්ලේ වසරකට 2.8%ක සාමාන්‍ය අවප්‍රමාණය වීමක් සමග ශ්‍රී ලංකා රුපියල ස්ථාවර සහ නොසැලෙන මට්ටමකට

දත්ත කියවන්නට රුචි අයට අදාළ දත්ත මෙන්න...


මේ අනුව කොමිසම දඩයම පටන්ගෙන තිබෙන්නේම පෙර පැවති පාලනයට දේශපාලනික වශයෙන් විරුද්ධවාදී කම් දක්වන අය විසින් ‘පොදු අවකාශයේ‘ පැළ කළ රසබර බේගල් මත පදනම් ව ය! 

තවද කබ්රාල් මහබැංකුවේ සුක්කානම පදවන විට ලංකාවේ ආර්ථිකය මුහුණ දී තිබූ ප්‍රධාන අභියෝග මේවා ය. ඔහු මේ සියල්ලම ජයගත්තේය. 

• බොර තෙල් බැරලයක මිල සිතාගැනීමට පවා නොහැකි ඇමරිකානු ඩොලර් 145කට ඉහළ නැංවූ ‘ගෝලීය ඛණිජ තෙල් කම්පනය‘
• දියුණු රටවල්වලින් බහුතරය ද ඇතුළත්ව ලෝකයේ බොහෝ රටවල් බරපතළ ආර්ථික උද්ධමනයක් අත්දුටු ගෝලීය ආර්ථික අර්බුදය
• ලෝකයේ විශාලතම මූල්‍ය ආයතන සිය ගණනක් කඩා වැටුණු ගෝලීය මූල්‍ය අර්බුදය
• ආහාර සහ වෙළඳ භාණ්ඩවල ලොව පුරා හිඟයක් ඇති කළ ගෝලීය ආහාර අර්බුදය
• ශ්‍රී ලංකාවේ විරල සම්පත් විශාල ප්‍රමාණයෙන් පරිභෝජනය කළ ත්‍රස්තවාදී යුද්ධය 

කොමිසමට ඓතිහාසික ලෙස වැරදුණේ මෙතැන් පටන් ය. 

මහබැංකු අධිපතිවරයෙකු කෙබඳු අයෙක් විය යුතුද?

1950 දී මහ බැංකුව පිහිටුවීමට මුල් වූ ශ්‍රී ලංකාවේ මුදල් පනතේ ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෝන් එක්ස්ටර් මෙසේ ලියා ඇත. 

‘‘සිලෝන් හි (ලංකාවේ) මහබැංකු අධිපතිවරයා විය යුත්තේ:  
“ලංකාවේ ආර්ථික හා මූල්‍ය ගැටළු අවබෝධ කරගැනීම සම්බන්ධයෙන් පිළිගත් හා කැපී පෙනෙන නිපුණතාවයක් ඇති සහ නිසැක අවංකභාවයක් සහිත වගකීම් සහගත අයෙකි. මහබැංකු අධිපතිවරයාට සැබෑ මූල්‍ය අත්දැකීම් තිබීම වැදගත් ය‘‘
යනුවෙනි. 

දැන් අපට කබ්රාල් ගැන ලිවීමට සිදු වේ. එහිදී අපට ලියන්නට සිදුවන්නේ මොනවාද?

හිටපු මහබැංකු අධිපති සහ වත්මන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකාවේ සිටි ළාබාලතම වරලත් ගණකාධිකාරවරයෙකු වූ බව ය. බොහෝ ප්‍රධානීන්, සගයන් සහ උප ප්‍රධානීන් විසින් විශිෂ්ට ගණයේ පුද්ගලයෙකු ලෙස ඔහුව සලකා ඇති බව ය. Ford Rhodes Thornton & Co (දැන් KPMG) හි අධ්‍යාපනය ලබන සමයේදී ඔහු වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනයේ ත්‍යාග ගණනාවක් දිනා ඇති බව ය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිත්වයට පත් වූ දෙවැනි ළාබාලතම තැනැත්තා වූ බව ය.  එසේම දශක 3 ක් පුරා පුද්ගලික අංශයේ රැකියා තුළ ඔහු විසින් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම් සහ සමාගම් සමූහ ගණනාවක මූල්‍ය අධ්‍යක්ෂවරයා සහ/හෝ විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළ බව ය. තවද එහිදී ගෝලීය සහ බහු පාර්ශවීය ආයතන ගණනාවක මෙන්ම ශ්‍රී ලංකාවේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ ද ඉහළම සමාගම්වල සංස්ථා හා කළමනාකරණ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ බව ය. 2002 වසරේදී “Towards a Sri Lankan Renaissance” ග්‍රන්ථය ද, 2004 වසරේදී  ‘ලක්මවට මුතු පොටක්‘ ග්‍රන්ථයද රචනා කර ඇති බව ය. එම පොත් දෙකේදීම ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය ගැටළු පමණක් නොව මෙකී ගැටළුවලට දිය හැකි විසඳුම් ද සාකච්ඡා කර ඇති බව ය.  තවද ඔහු  ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම් පාලන කමිටුවේ සභාපතිත්වය ද දරා ඇති බව ය. 

තවද ඔහුගේ දීර්ඝ වෘත්තිමය රැකියා ජීවිතය තුළ කිසිදු විෂමාචාරයක්, වැරදි ක්‍රියාවක් හෝ අයථා පරිහරණයක් පිළිබඳ ඉඟියක් හෝ සලකුණක් නොමැති බව ය...

කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් මහබැංකුවේ ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් මාණ්ඩලික සාමාජිකයින් ද කබ්රාල් පිළිබඳ කොමිසම හමුවේ ප්‍රශංසනීය ලෙස කතා කර ඇති බව ය. 

ඔහුගේ වසර 8 ½ ක ධුර කාලය තුළ සිදුකළ සියලු ගනුදෙනු සම්බන්ධයෙන් දැඩි සමාලෝචන කිහිපයක් සිදු කෙරුණත්, නීති රීති හෝ උල්ලංඝනය කිරීමක් ගැන එකදු අවස්ථාවකදී හෝ හෙළිදරව් වූයේ නැති බව ය. 

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු මෙන්ම ලංකාවේ ගෞරවනීය මූල්‍ය අංශ ප්‍රවීණයෙකු ද වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන 2018 ඔක්තෝබර් 15 දා ඩේලි එෆ්ටී පුවත්පතට මෙසේ ලියයි.  

2007 සිට 2009 දක්වා මහබැංකුව කළ මූල්‍ය යුද්ධය

‍2007 සිට 2009 දක්වා රට මුහුණ දුන් දැඩි විදේශ විනිමය අර්බුදය තුළ, එල්ටීටීඊ ය සමග යුද්ධයේ උපරිම අවස්ථාවේ සිටියදී යුධ පෙරමුණේ සිටි සොල්දාදුවන් විසින් කළ යුද්ධයට සමගාමීව මහබැංකුව විසින් ද වෙනම මූල්‍ය යුද්ධයක් සිදුකරන ලදී. ශ්‍රී ලංකාවට ආයුධ නොමැති ව තිබූ අතර ලංකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරු වන චීනය රටට ලබා දුන්නේ මාස 3 ක ණය මුදලකි. ලංකා බැංකුව ණයවර ලිපිවල නියමිත දිනයන්වලදී අගරු වීමට මුහුණ දිය යුතු වූ අතර, මහබැංකුවට ඒවා සැපයීමට සිදුවූයේ ඩොලර් වලිනි. ප්‍රමුඛතා පදනම යටතේ මෙකී මූල්‍ය කැපකිරීම සිදුකිරීමට නම් ලංකාව සිය විදේශ විනිමය රැකගත යුතු විය.  

මහබැංකු අධිපති කබ්රාල්ගේ ප්‍රශංසනීය කාර්යභාරය

‍මෙම තත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ ගෞරවය කබ්රාල්ට දිය යුතුය. ඒ අනුව යුද්ධය අවසානයක් දක්වා ගෙන යාම සඳහා අවශ්‍ය ව තිබූ ආයුධ යුධ පෙරමුණේ සිටි සොල්දාදුවන් වෙත නොකඩවා සැපයීම සිදුකළ හැකි විය. ඩොලර් මිලියන 500 ක් පමණක් වූ පළමු බැඳුම්කර නිකුතුව රජය විසින් අර්පණය කළ විට 2007 වසරේදී විදේශ ආයෝජකයන් සොයමින් ඔහු ලෝකය පුරා ගිය අයුරු මට සිහිපත් කළ හැකිය. එය වර්තමාන සන්දර්භයේ සාරය වන නමුත්, එය සිදුකරනු ලැබුවේ රට තුළ මෙන්ම රටෙන් පිටත ද වූ අතිශය බලගතු බලවේගයකට එරෙහිව ය.‘‘ 

http://www.ft.lk/columns/The-fate-of-the-rupee--Time-to-stop-playing-the--blame- excuse-blame-games-/4-664683/

මේ අතර ලංකා බැංකුවේ හිටපු සභාපති රුසිරුපාල තෙන්නකෝන් 2019 ජනවාරි 21 දා එම පුවත්පතටම මෙසේ ලියා ඇත. 

‘‘මුළු ලෝකයම භයානක ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස හංවඩු ගැසූ මිනීමරු කල්ලියක් සමඟ රට යුද්ධයක යෙදී සිටියදී අවශ්‍ය ආයුධ ලබා ගැනීමට පවා රටට කිසිදු සහායක් නොතිබුණු විට මහබැංකු නිලධාරීහු අතිශය දුෂ්කර සහ අවදානම් සහගත තත්වයකට මුහුණ දී සිටි අතර කබ්රාල් මහතාගේ අධිපතිත්වය යටතේ මහබැංකුව, ආර්ථිකය සුරක්ෂිත කර ගැනීම සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය. වර්තමානයේ මෙන් නොව රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන කිසිදු දුෂ්කරතාවයක් ඒ දිනවල අප අසා තිබුණේ නැත. 

ආයුධ සැපයීමට එකඟ වූ රටවල් පවා එසේ කළේ කිසිදු ප්‍රදානයක් ලෙස නොව වෙළඳ කටයුතු සම්පාදනය කිරීමේ පදනම මත බව රවී කරුණානායක (RK) නොදන්නවා වන්නට ඇත. විවෘත කළ ණයවර ලිපි මාස 3 කින් අගරු වීමට නියමිතව තිබිණි. මෙහි බර ලංකා බැංකුවට දැරීමට සිදු වූ අතර, ලංකා බැංකුව කිසිදු විටෙක එම වගකීම් පැහැර හැරියේ නැත. එය ගිලන් වූ ආර්ථිකයක් කළමනාකරණය කළ දුෂ්කර කාලයක් විය. නමුත් කබ්රාල් මහතා යටතේ මහබැංකු කණ්ඩායම එය කදිමට කළමනාකරණය කළේය.‘‘

http://www.ft.lk/columns/Ravi-K-s-discourse-on-W-A--Wijewardena-s-involvement-in- Treasury-bond-issue/4-671245/

ඒ කබ්රාල් ගැන ය. දැන් මේ පරීක්ෂණයම අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ද යොදමු. 

මහේන්ද්‍රන්ගේ මජර ක්‍රියා

එහිදී මහේන්ද්‍රන් ගැන අපට ලියන්නට සිදුවන්නේ මොනවාද?

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මහේන්ද්‍රන් ව මහබැංකු අධිපති ලෙස පත්කරන අවස්ථාවේදී ඔහුගේ ආණ්ඩු පක්ෂයේ සිටි ප්‍රබලයන් වූ පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න ඇතුළු ‘යහපාලන‘ ආණ්ඩුවේම අමාත්‍යවරුන් කිහිප දෙනෙක් විසින් මහේන්ද්‍රන්ගේ අවංකභාවය ගැන ප්‍රශ්න කර ඇති බව ය. එවිට ඒ අවංකකම ගැන රනිල් ඔවුන්ට දිවුරා සහතික වී ඇති බව ය! 

තවද ඒ මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා වශයෙන් සිටි වසර එකහමාරක කෙටි කාලය තුළ ශ්‍රී ලංකා මහබැංකුවට අවම වශයෙන් මිලියන 600 ක පාඩුවක් සිදුව ඇති බව ය. ඔහු වැඩ භාරගත් පසුව මහබැංකුවේ අති සාර්ථක අන්දමින් එතෙක් ක්‍රියාත්මක වූ පුද්ගලික අංශය සම්බන්ධ කමිටු දෙකම අකර්මණ්‍ය තත්වයට පත් වූ බව ය. මහබැංකු ඉතිහාසයේ කිසිදාක අධිපතිවරුන් විසින් නොකළ මජර දේවල් රැසක් කළ ඇති බව ය. උදාහරණයක් වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් මණ්ඩල රැස්වීම්වලට බලහත්කාරයෙන් සහභාගි වී ‘මං කියන විදිහට කරපල්ලා‘ යැයි ඉංග්‍රීසියෙන් කියූ බව ය. මුදල් මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ සටහන් පොත, තමන්ගේ කැමැත්තට අනුව පසුව වෙනස් කළ බව ය. 

‘හැකි අවම වියදමකින් ආණ්ඩුව වෙනුවෙන් මුදල් ණයට ගැනීම‘ නම්වූ මහබැංකුවේ ප්‍රථම කාර්යභාරයට පටහැණිව ‘කෘත්‍රිම ලෙස පොලී අනුපාතික ඉහළ නංවා ‘හැකි උපරිම වියදමකින් මුදල් අවශ්‍යතාවය මෙන් තෙගුණයක් තමන්ගේ බෑණාගේ සමාගමෙන් ණයට ගත් බව‘ ය. විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන්ද සෘජු නිකුතු ක්‍රමය අගය කළ නමුත් මහේන්ද්‍රන් එයට පටහැණි ව ක්‍රියා කළ බව ය.  

තවද “Arjuna Mahendran, Arjuna Aloysius and the Bond Scam” යන ලිපිය මගින් 2015 ජනවාරි 11 වැනිදා ‘බිස්නස් බැසිල්‘ නමැත්තෙකු විසින්, අර්ජුන මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපති බවට පත් වූ විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලොකුම කුට්ටිය ලැබෙනු ඇතැයි  සිදුකළ පුරෝකථනය මාස 2 කටත් අඩු කාලයකදී බැඳුම්කර වංචාව සිදුවීම මගින් සඵල වූ බව ය. බැඳුම්කර කොමිසමට මේ ලිපියත් පොදු අවකාශයෙන් හමුවුණේ නැතිද? 

අවසානයේ 2016 ඔක්තෝබර් අගභාගයේ අර්ජුන මහේන්ද්‍රන් කාටත් නොකියා රටෙන් පළා ගියේ ද රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය මත ය. ඔහුගෙන් මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට ඔහු කැත විදිහට සිනාසෙමින් කීවේ, ‘‘මට අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා හම්බවුණාම කිව්වා මංගල උත්සවයකට සිංගප්පූරු යනව කියලා.. ඒ මිසක් රටෙන් පැනල ගිහිල්ල නෑ..‘‘ කියා ය. 

එසේ වෙඩිමට ගිය මිනිහා තවම ලංකාවට ආවේ නැත. මීට පෙර ලිපියකින් ද හෙළි කළ පරිදි ඔහුගේ නම ද ‘අර්ජාන් ඇලෙක්සැන්ඩර්‘ යනුවෙන් වෙනස් කරගෙන තිබේ. මහබැංකු මංකොල්ලයෙන් රටට අහිමි කළ බිලියන ගණනේ මහිමයෙන් ඔහු තවම සිංගප්පූරුවේ මගුල් කනවා වන්නට ඇත. 

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම
‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස

හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස