හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස

හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස

22 August 2020 01:21 am

නාටකයේ තීව්‍රත්වය කෙමෙන් වැඩි වෙමින් තිබූ අතර, සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුත් දෙවැනි බැඳුම්කර කොමිසමෙන් පවා වංචාවේ මහමොළකරුවන් අල්ලාගත නොහැකි බව ළමයෙකුට වුවත් වැටහෙමින් තිබුණේය. 

ඒ 2016 වසර අග භාගයයි. 

බැඳුම්කර වංචාවට එරෙහි මහජන විරෝධය සහ මහමොළකරුවන් හා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මහජනයා අතර ඇති වූ නොසන්සුන්තාවය උපරිමයක් දක්වා ළඟා වී තිබුණේය. 

ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙතට ද බැඳුම්කර වංචාව ගැන පැමිණිලි ඉදිරිපත් වී තිබිණි. 

නීතිය විහිළුවක් බව පෙන්වා දෙමින් ඒවායෙන් ද ලැබෙමින් තිබුණේ ඇල් මැරුණු ප්‍රතිචාරයන් ය. 

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රනිල් තමන්ට ද කොකා පෙන්වූ බව වටහාගන්නට පටන් ගෙන තිබූ කාලයයි. කුමක් හෝ කළ යුතුය. 

ඒ අනුව වංචාව පරීක්ෂා කර බැලීම සඳහා තවත් කොමිසමක් පත් කිරීමට තීරණය කෙරිණි! 

ඒ අනුව 2017 ජනවාරි 27 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියමයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරුණේය. 

එම ජනපති නියමයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ‘‘2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා සිදුකළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු පිළිබඳ විමර්ශනය කිරීමේ, පරීක්ෂා කිරීමේ සහ වාර්තා කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාව පත් කිරීම‘ යි. මේ වාක්‍යය දෙවරක් කියවා ගන්නට යැයි පාඨක ඔබට අපි ඇරයුම් කරමු. 

එයට හේතුව, මේ කොමිෂන් සභාව ‘යන්නෙ කොහෙද- මල්ලෙ පොල්‘ වර්ගයේ මහජන මුදල් කාබාසිනියා කළ - නැති ප්‍රශ්න ඇති කළ ‘හදවතින්ම සිරි ලාංකික කොමිසමක්‘ වූ නිසා ය... ඒ බව ඉදිරියේදී ඔබටම වැටහෙනු ඇත. 

කොමිෂන් සභාවේ සාමාජිකයන් පහත පරිදි විය. 

• විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති (ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර)
• විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, ජනාධිපති නීතීඥ, පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජික (ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර)
• කන්දසාමි වේලුපිල්ලෙයි Esq, පරීක්ෂණ කොමිෂන් සභා සාමාජික (විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති)

මල් වෙඩි මැද දින 117 ක් සහ හඬපට 19 ක්

මෙම කොමිසම දින 117 ක් මුළුල්ලේ ගැටළුව විභාග කළේය. 71 දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගත්තේය. සාක්ෂි පිටු 10,500 ක් පුරා ලියැවුණේය. ලේඛන 594ක් සටහන් කර ගත්තේය. හඬපට ද 19 ක් කරළියට ආවේය. 

කොමිසම වැඩ පටන් ගත්තේ ද වැඩ කටයුතු කරගෙන ගියේ ද මල්වෙඩි මැද ය. 

මෙය ඉතා හොඳ මුලපිරීමක් බව බොහෝ අය කීහ. එනිසා ජනපති සිරිසේන ගේ ද ආතතිය අඩු විය. එතුමා රෑ 10 ට හිත නිදහසේ නින්දට ගියේය. පහුවදා පත්තරෙන් පෙරදා කොමිසමේ වැඩ කටයුතු ගැන කියවා බලා හිත හෑල්ලු කර ගත්තේය. 

සබුද්ධික මහජනතාව නම් මේ ජනාධිපති කොමිසම ගැන තබා තිබුණේ අහස උසට නැග එන බලාපොරොත්තු කන්දකි. 

ඒ අනුව,

• බැඳුම්කර වංචාවේ සවිස්තරාත්මක තොරතුරු අනාවරණය වනු ඇතැයි මහජනතාව සිතූහ.

• වංචාවට වගකිවයුත්තන් සාර්ථක ලෙස හෙළිදරව් වනු ඇතැයි ජනතාව සිතූහ.

• ජාතියේ මහා වංචාකරුවන් ව ‘නම් කිරීම හා ලැජ්ජා කිරීම‘ (naming and shaming) සිදු වනු ඇතැයි ජනතාව සිතූහ.

• වංචාවේ මහමොළකරුවන්ට එරෙහිව අපරාධ නඩු පවරනු ඇතැයි ජනතාව සිතූහ.

• ඒ අනුව වංචාවේ මහමොළකරුවන්, එයට සහභාගි වුවන්, සහයෝගය දැක්වූවන් මෙන්ම එයින් ප්‍රතිලාභ ලබාගත්තවුන් යන මේ හැම කෙනෙක්ම පෝලිමට මහඋළුගෙදරට දක්කනු ඇතැයි ජනතාව සිතූහ.

නමුත් මේ ලංකාවයි... ජනතාවට පිස්සු!

තේරෙයි - කල් යයි

කොමිසමේ මැන්ඩේටය අනුව පරීක්ෂා කළ යුතු වූයේ 2015 ජනවාරි 27 දා පටන් සිදුවූ (එනම් නව යහපාලන ආණ්ඩුව යටතේ) බැඳුම්කර වංචාවන් ය. 

මාස කිහිපයක් ගත වුණේය. 

මැන්ඩේටය පැත්තක තබා ජනාධිපති කොමිසම, අගමැතිවරයා වෙනුවෙන් සේවය කරමින් සිටියේය. 

නමුත් මෙය ‘හයිප්‍රොෆයිල් වැඩ‘කි. ජනතාව මෙන්ම මීඩියා ද බලා සිටියි. ඒ නිසා කතා බහට ලක්වන දේවල් කළ යුතුය. නව සොයාගැනීම් කළ යුතුය! 

ප්‍රකාශිත මැන්ඩේටය වෙනුවට සැඟවුණු මැන්ඩේටයක් සෙමෙන් සෙමෙන් කරළියට ආවේය. 

කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙන්ම සනාථ වන ආකාරයට ප්‍රකාශිත මැන්ඩේටයට අනුව කොමිසම වැඩ කර තිබුණේ පළමු සති කිහිපයේදී පමණි!

ජනාධිපති කොමිසම, අගමැතිට දෙවියෙකුට මෙන් සලකයි!

බැඳුම්කර වංචාවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, අගමැති රනිල් වික්‍රමසිංහට දෙවියෙකුට මෙන් සලකමින් සිටියේය. 

මේ කොමිසමේ පරම හරය බවට පත් ව තිබුණේ නින්දිත වංචාවේ අගමැති කළ කොටසට ‘සුදුහුණු‘ ගෑමයි. අගමැතිගේ භූමිකාව වසං කිරීම ඔවුන්ගේ සැඟවුණු මැන්ඩේටය බවට පත්ව තිබූ අතර, එතැන් පටන් තිර පිටපත ලියැවුණ්ත් ජවනිකා රඟ දැක්වුණේත් ඒ අනුව ය. 

රවි කරුණානායකට ‘බැඳුම්කර හොරා‘ ‘බැඳුම්කර හොරා‘ යැයි කියන කිසිවෙක්, මේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ඔහුට සතුරෙකුට සේ සැලකූ බව නොදනිති. එයට හේතුව, ඔහු, කඩුව (මහබැංකුව) අහිමි මුදල් ඇමති වූ නිසා ය. 

මේ අතර, අර්ජුන මහේන්ද්‍රන්ව මේ කොමිසමට මුල පටන්ම පෙනුණේ ‘ජෙන්ට්ල්මන්‘ කෙනෙකු ලෙසට ය. ‘දේශීය‘ කොමිසමක් ඉදිරියට සාක්ෂි දීම සඳහා පැමිණි ‘උසස්‘ සිංගප්පූරු පුරවැසියෙකු වශයෙන් ගෞරවනීය පිළිගැනීමක් ඔහුට ලැබීම සහතික වී තිබුණේය!  

මහේන්ද්‍රන්ගේ බෑණා වූද, බැඳුම්කර වංචාවෙන් බිලියන ගණන් අයථා ලෙස ඉපැයූවා වූද, මහබැංකුවේම මුදල්වලින් මහබැංකුවේම බැඳුම්කර මිලදී ගත්තා වූද, විනාඩි කිහිපයක් ඇතුළත ලංකා බැංකුවෙන් බිලියන ගණනක ණයක් කිසිදු සුරැකුමක් නැතිව ලබාගත්තා වූ  ද අර්ජුන් ඇලෝසියස් මේ කොමිසම ඉදිරියට කැඳවුණේ නැත.

කොමිසම ඉදිරියට ඔහු කැඳවූවා නම් රනිල් වික්‍රමසිංහ යන නම හෙළිදරව් වීමට ඉඩ තිබූ නිසා ය!

ස්වීට් සැමුවෙල්

අර්ජුන් ඇලෝසියස් වෙනුවට බැඳුම්කර කොමිසම ඉදිරියට කැඳවුණේ ‘ස්වීට් සැමුවෙල්‘ ය. ඔහු ඇලෝසියස්ගේ පුද්ගලික සහකාර කෙනෙකු යැයි කියැවුණේය. ඔහුගේ ජංගම දුරකථනයේ “Honorable PM”, “RK” සහ “AM” යන වචන ඇතුළත් ටෙක්ස්ට් මැසේජ තිබුණේය. කොමිසම විසින් ඒවා මොනවාදැයි ඇසූ විට ඔහු කීවේ ‘මම දන්නෙ නෑ.. මං දැක්කෙත් නෑ‘ කියලා ය. ඇත්තෙන්ම ඔහු දිවුරමින් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව කීවේ එම වචනවලින් අදහස් වන දේවල් තමන් නොදන්නා බව ය. 

ඒ කතාව එක පැත්තකින් ඇත්ත ය. උදාහරණයක් වශයෙන් “Honorable PM” යන්න සිංහලට නගන්නට වෙන්නේ ‘ගරු අගමැති‘ යනුවෙනි. රනිල් වික්‍රමසිංහගේ හැටි දැන සිටි ඔහු රනිල් වික්‍රමසිංහගේ බැඳුම්කර වංචාවේ හැසිරීම අනුව ඔහුට ‘ගරු‘ කළ නොහැකි බව ද හොඳ හැටි දැන සිටින්නට ඇත. ඒ නිසා ඇත්තෙන්ම ස්වීට් සැමුවෙල් ඒ වචනයේ තේරුම දන්නේ නැත තමයි!

‘2015 පෙබරවාරි 27 ට පසු‘‘ යන්න ‘‘2015 පෙබරවාරි 27 ට පෙර‘‘ ලෙස හිතුමතේ වෙනස් වෙයි!

මේ අතර පැහැදිලිවම පෙනී ගිය පරිදි මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සිය සැඟවුණු මැන්ඩේටය කාලයත් සමග හෙළිදරව් කළේය. ඔවුන්ට එසේ කරන්නට සිදුවිය. ඒ අනුව ඒ මැන්ඩේටයේ ‘‘2015 පෙබරවාරි 27 ට පසු‘‘ යන්න ‘‘2015 පෙබරවාරි 27 ට පෙර‘‘ යනුවෙන් වෙනස් කරගෙන තිබුණේය. 

තවත් ආටක නාටක රාශියකි. උදාහරණයක් ලෙසට ජනාධිපති කොමිසමේ සභාපතිවරයා වූ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පැත්තකට වී බලා සිටින තත්වයට පත් වූ අතර, කොමිෂන් සභාවේ සාමාජිකයෙකු පමණක් වූ ජනාධිපති නීතීඥ, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන කසය අතට ගෙන තිබුණේ අගමැතිවරයාට විරුද්ධ අයට දිගට හරහට තළන්නට ය. පසුව හෙළිදරව් වූ පරිදි ඒ වන විටත් ප්‍රසන්න ජයවර්ධනගේ දියණිය වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ internship හෙවත් සීමාවාසික පුහුණුවට ගොස් සිටි බව ද මේ කොලම හරහා පසුව ඔබට කියවන්නට ලැබුණු ඇත.

අවසානයේ ‘හොරු අල්ලනවෝ‘ ‘හොරු අල්ලනවෝ‘ යැයි කියාගෙන ආ යහපාලන ආණ්ඩුව කාවදෝ අල්ලන්නට පටන් ගෙන තිබුණේ එසේ ය. ඒ දැඩි සහ සියුම් පළිගැනීමට ලක් වූ අය අතර ඉහළින්ම තිබෙන නාමය වන්නේ හිටපු මහබැංකු අධිපති සහ වත්මන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් ය. මැන්ඩේටය අනුව ජනාධිපති කොමිසම විසින් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ වංචාවන් හෙළිදරව් කළ යුතුව තිබිණි. නමුත් ඔවුන් සෙව්වේ කබ්රාල් ගැන ය. ඒ සෙවිල්ලෙන් හෙළිදරව් වූයේ මොනවාද යන්නත් ඔබට මේ කොලමෙන් අනාගතයේදී කියැවීමට ලැබෙනු ඇත. මන්ද යත්,  බැඳුම්කර වංචාව සිදුවී වසර 5කට පසුව එහි ප්‍රතිඵල හොඳින්ම පෙනෙන්නට තිබෙන කාලයකදී  ‘කම්බ හොරා‘ කවුදැයි හෙළිදරව් කිරීමේ යුතුකමක් මේ ලියුම්කරුට ඇති නිසා ය. 

අප හොඳින් දන්නා පරිදි මෙවර මහ ඡන්දයේදී ඉතිහාසගත අන්ත පරාජයක් ලැබූ රනිල් වික්‍රමසිංහ, 2020 පාර්ලිමේන්තුවේ පළමු සැසියට නාවේය. පක්ෂය තුළ ඔහුගේ නායකත්වය සහ ඔහුගේ නියෝජනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මේ අර්බුදයට, පසුගිය ලිපියේදී අප විසින් හෙළිදරව් කළ පරිදි සහ එකල ඔහුට ආවතේව කම් කළ සුජීව සේනසිංහට ද අනුව බැඳුම්කර වංචාව ද ප්‍රබල හේතුවකි. සත්‍යය කිසිදා වළ දමන්නට බැරි ය. එය නැවත නැවතත් හෙළිදරව් වන ස්වභාවයෙන් යුතු ය. ඉතින් වික්‍රමසිංහ දැන් පාර්ලිමේන්තුවට එන්නට අදිමදි කිරීම පුදුමයක් නොවේ. රෙදි ඇඳන් ඔහුට එන්නට බැහැ නොවැ!  

2020 දී සබුද්ධික ඡන්ද දායකයෙකු රනිල් වික්‍රමසිංහ ව දුටුවේ මෙසේ ය. 


සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
 
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස