සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ

සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ

13 August 2020 10:45 pm

සුජීව සේනසිංහ කෝප් කමිටු දෙකෙහිම සිටි සාමාජිකයෙකි. ඔහු බැඳුම්කර වංචාව වසං කිරීමේ මහා මෙහෙයුමේදී කෝප්  කමිටු දෙකේදීම හැසිරුණේ එවකට අගමැති රනිල්ගේ ‘බොඩිගාඩ්‘ ලෙස යැයි කීම අතිශයෝක්තියක් නොවේ. 

පළමු කෝප් කමිටු වාර්තාව නිකුත් කිරීමට තිබියදී දේශපාලන අකල් මරණය වළක්වමින් රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනතාව මත මහා වැය බරක් පටවමින් අනපේක්ෂිත මහමැතිවරණයක් ආවේය. 

ඩී.ඊ.ඩබ්. ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට කිසිදා ඉදිරිපත් කිරීමට නොහැකි වන බව ඊට පෙර සිටම පෙනෙන්නට තිබුණේය. ඒ නිසාමදෝ එම වාර්තාවේ කොටස්, මීට පෙර ලිපියකින් අප විසින් පෙන්වා දුන් ආකාරයට මාධ්‍ය වෙත නිකුත් වී තිබිණි. මෙවිට අගමැතිවරයා කෝපාවිෂ්ට වූ අතර, එක් වරක් ඔහු ඩී.ඊ.ට අභියෝග කළේ හැකිනම් සුජීව සේනසිංහ සමග බැඳුම්කර වංචාව පිළිබඳ විවාදයකට මුහුණ දෙන ලෙස ය. 

එසේම ඩී.ඊ.ඩබ්. ගුණසේකර පමණක් නොව, එම කමිටු වාර්තාවේ කොටස් හෙළිදරව් කළ මාධ්‍ය විසින් පවා පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 22 වගන්තිය උල්ලංඝනය කළ බව වික්‍රමසිංහ උමතුවෙන් මෙන් කීවේය. 

එයින් ද නොනැවතී, කෙටුම්පත් වාර්තාව මහජනයා වෙත ඉදිරිපත් කිරීමෙන් ඩී.ඊ.ඩබ්. කෝප් කමිටු සභාපතිවරයාව වළක්වාලීම සඳහා රනිල් වික්‍රමසිංහ කොළඹ දිසා අධිකරණයට ද ගියේය. ඒ නඩුවේ නීතීඥයා වූයේ සුජීව සේනසිංහ ය!  

2015 ජූලි මාසය යනු මහමැතිවරණය කට ළඟටම පැමිණ තිබූ සමයයි. බැඳුම්කර වංචාව සහ එය වසං කිරීම ගැන දස දෙසින් විරෝධතා පැන නගියි. ලොක්කා බේරාගැනීම සඳහා බොහෝ දේ කළ යුතු විය. 

රනිල්ගේ 2015 ජනවාරි 8 ආණ්ඩුව තුළ සුජීව සේනසිංහ යනු ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා පමණකි. නමුත් ඔහු බැඳුම්කරය ගැන පොතක් ලීවේය!

සේනසිංහගේ ‘පච පොත‘!

ඒ පොතේ නම ‘මහබැංකුවේ බැඳුම්කර නිකුතුව - ඇත්ත කතාව‘ යි. පොත පළ කළේ සිංහලෙනි. පිටු 67 ක කුඩා පොතකි.

එහි අරමුණ වූයේ අගමැති බේරාගෙන, ඇත්ත කතාව විකෘති කිරීම පමණක්ම විය. ඒ සඳහා ඔහු සිංහල කතා කරන ජනතාව අමතමින් ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම ආර්ථික වංචාවට සුදු හුණු ගායි. 

පැහැදිලිවම මෙය, අගමැතිවරයා වෙතින් විදුලි වේගයෙන් වියැකී යමින් තිබූ ජන ප්‍රසාදය නැවත දඩයම් කිරීමේ දීන උත්සාහයකි. 

එහි තිබූ ‘අලි බොරු‘ අතරින් කිහිපයකි, මේ. 

- මහබැංකු අධිපති මහේන්ද්‍රන් බැඳුම්කර වංචාව දිනයේදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දෙවරක්ම ගියේ, ඔහු හැමදාම පුරුද්දක් වශයෙන් එසේ කරන නිසා ය!

- එය මහේන්ද්‍රන්ගේ ‘විවෘත කළමනාකරණයේ කොටසක්‘ යැයි සුජීව කියයි. නමුත් එය පළමු කෝප් කමිටුවේදී, දෙවැනි කෝප් කමිටුවේදී මෙන්ම බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසමේදීද පිළිගත් පරිදි ‘ශ්‍රී ලංකා මහබැංකුවේ නීති රීති හා සම්මතයන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම‘ කි!

- කෝප් පරීක්ෂණ දෙකකදී සහ බැඳුම්කර කොමිසම වෙත ඉදිරිපත් කරන ලද තොරතුරුවලින් හෙළිදරව් වූයේ රුපියල් බිලියන 5 ක් වටිනා බැඳුම්කර (රු. බිලියන 2 ක් සිය නමින් සහ රු. බිලියන 3 ක් ලංකා බැංකුව හරහා) ප්‍රශ්නකාරී බැඳුම්කර වෙන්දේසියේදී PTL සමාගම විසින් ලබාගෙන ඇති බව යි. නමුත් සුජීව සේනසිංහ සිය පොතෙන් තර්ක කර සිටින්නේ PTL සමාගම විසින් ලබාගෙන තිබෙන්නේ රු. බිලියන 2 ක් වටිනා, එනම් සමස්ත බැඳුම්කරවලින් සියයට 10 ක ප්‍රමාණයක් පමණක් බවයි!

දෙවැනි කෝප් කමිටුව හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට නව ආණ්ඩුවට සිදුවිය. 


සුජීවගෙන් ඇලෝසියස්ට දුරකථන ඇමතුම් 227 ක්!

මේ අතර සුජීව සේනසිංහ සහ ඇලෝසියස් අතර පැවති ඉතාම සමීප සම්බන්ධතාවක් ගැන ද අසාමාන්‍ය තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය. 

2015 ජනවාරි මාසය තුළ පමණක් ඇලෝසියස් සහ සේනසිංහ සිය ජංගම දුරකථනවලින් අවම වශයෙන් 227 වතාවක් කතා කර තිබිණි.

ඒ තොරතුර හෙළිදරව් වූ විට සේනසිංහ කීවේ තමන් ඇලෝසියස් අමතා පොත ලියන්නට තොරතුරු ලබාගත් බව ය!

මේ අතර මාධ්‍ය වාර්තා ගණනාවක් විසින් පෙන්වා දුන්නේ 2016 මැයි 6 දා සිට 2016 ඔක්තෝබර් 28 දා දක්වා (මෙය හඳුන්නෙත්ති කෝප් කමිටුව බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කරමින් සිටි කාලයයි) දුරකථන ඇමතුම් 62 ක් හුවමාරු වී ඇති බවයි! 

එසේ නම් පොත ප්‍රකාශයට පත් වූ 2015 ජූලි මාසයෙන් පසුවත් සුජීව ඇලෝසියස් සමග සැලකිය යුතු ආකාරයෙන් ජංගම දුරකථන ඇමතුම් ලබාගත්තේ මන්ද? 

එයට අද දක්වා ද සුජීව සේනසිංහ පිළිතුරු දී නැත!

දෙවැනි (හඳුන්නෙත්ති) කෝප් කමිටුවේදී සුජීවගේ හැසිරීම - ෆුට්නෝට් කල්ලියේ රංගනය

හඳුන්නෙත්ති කෝප් කමිටුවට සුජීව සේනසිංහ පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ වේළුකුමාර මන්ත්‍රීවරයා ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ ගත් තීරණයත් සමග ය. එතැන් පටන් සුජීව සේනසිංහ, කෝප් කමිටුව තුළ මාරාවේශයෙන් මෙන් හැසිරුණු ආකාරය ගැන බොහෝ සාක්ෂි තිබේ. රනිල් වික්‍රමසිංහට සහ අර්ජුන මහේන්ද්‍රන්ට වාසිදායක වන ආකාරයේ සාක්ෂි ලබාගැනීමේ වගකීමක් සුජීව සේනසිංහ ට පැවරී තිබුණේය. 

හඳුන්නෙත්ති කෝප් කමිටු වාර්තාවේ බර හෑල්ලු කරමින්, වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්වලට පටහැණි වන පරිදි පාද සටහන් යෙදීම කළේ සුජීව ප්‍රමුඛ ෆුට්නෝට් කල්ලිය විසිනි. 

එම ෆුට්නෝට් කල්ලිය සමන්විත වූයේ UNP කෝප් කමිටු මන්ත්‍රීවරුන් වූ රවීන්ද්‍ර සමරවීර, වසන්ත අළුවිහාරේ, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකාරුණා සහ අබ්දුල්ලා මහරූෆ් යන මන්ත්‍රීවරුන්ගෙනි.

එසේ පාද සටහන් යෙදීමට ඉඩ නොදෙන්නේ නම් තමන් වාර්තාවට අත්සන් නොකරන බව සුජීවලා තරයේ කීහ. අවසානයේ විසම්මුතික වාර්තාවක් සභාගත කළ නොහැකි නිසාත්, පළමු කෝප් කමිටුවට සිදුවූ දේ දෙවැන්නට සිදුවීමට ඉඩ දිය නොහැකි නිසාත් ‘පාද සටහන් සහිත‘ සහ ‘පාද සටහන් රහිත‘ ලෙස කමිටු වාර්තා දෙකක් සකස් කිරීමට සිදු විය. 

පෙර ලිපියෙන් ද අප විසින් පෙන්වා දුන් පරිදි සුජීවලා මෙසේ විකෘති පාද සටහන් යෙදුවේ අනාගත පාවිච්චිය සඳහා මෙන්ම අනාගතයේ ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයන්ගෙන් වරදකරුවන්ට පළා යාමට මාර්ග සකස් කර දීම සඳහා ද විය හැකිය.

කබ්රාල්ට පහර දීමත් සේනසිංහටම පැවරෙයි.

2006-2014 අතර කාලය තුළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ව සිටි අජිත් නිවාඩ් කබ්රාල් කුරුසියේ ඇණ ගැසීමේ වගකීම ද මේ අතර රනිල් වික්‍රමසිංහ විසින් පැවරුවේ සුජීව සේනසිංහ වෙත ය. ඔහු පිළිබඳ මාධ්‍ය වෙත ‘නිව්ස්‘ සැපයීම මෙන්ම, පසුව පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී විප්‍රකාර සහගත ලෙස අර්ජුන මහේන්ද්‍රන් කළ කී දෑ ගැන සොයනවා වෙනුවට අජිත් කබ්රාල් ගැන සොයන ලෙසට මැන්ඩේටය කණපිට ගැස්සුවේද රනිල් වික්‍රමසිංහ-සුජීව සේනසිංහ සුසංයෝගය විසිනි. 

ග්‍රීක බැඳුම්කර සිද්ධිය ඇතුළු නානා ප්‍රකාර චෝදනා කබ්රාල් හට එල්ල විය. අදටත් එල්ල වේ. ඒ පිළිබඳ වෙනම ලිපියකින් කතා කළ යුතුය. කෙසේ වෙතත්, ග්‍රීක බැඳුම්කර සිද්ධිය මුල් කරගෙන 2012 වසරේදී වසරේදී  මූලික අයිතිවාසිකම් නඩු අංක 457/2012 යටතේ (SC (FR) 457/2012) සුජීව සේනසිංහ කබ්රාල්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. නඩුවේ නම සුජීව සේනසිංහ එ. මහබැංකු අධිපති (කබ්රාල්)  වන අතර, ඕනෑම අයෙකුට එම නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියෙන් කියවා ගත හැකිය. http://www.supremecourt.lk/images/documents/scfr_application_457_2012.pdf/ 

වසර 2 ක් පුරා දික්ගැස්සුණු මෙම නඩුව, අවසානයේ 2015 ජනවාරි 8 වැනිදා ශ්‍රීපවන් අගවිනිසුරු ඇතුළු විනිසුරු මණ්ඩලය විසින් ‘විභාගයට ගැනීමට අවසර දීම ප්‍රතික්ෂේප කරන්නේ‘ මෙසේ පවසමිනි. 

‘‘ආශ්‍රිත කරුණුවල සාකල්‍යභාවය සැලකිල්ලට ගැනීමේදී ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමට තීරණක් ගැනීමේදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් අත්තනෝමතික ලෙස, අසාධාරණ ලෙස සහ වංචනික ලෙස ක්‍රියා කර ඇති බව පිළිගැනීමට හැකියාවක් නැත‘‘.

නමුත් කබ්රාල්ට පහර දීමට සුජීවගේ තිබූ ආසාව එම නඩුව විසිවීමෙන් පවා සන්සිඳුණේ නැත. සැබවින්ම කබ්රාල්ට එරෙහිව උසාවි ගිය සේනසිංහ, මේ වතාවේ අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් උසාවි නොගියේ මන්දැයි ඔබම සිතාගත යුතුය!

සුජීව සේනසිංහ වක්‍රකාරයෙන් වමාරයි!

2016 වසරේදී ඉදිරිපත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩිදුර විමර්ශන වාර්තාවට අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්ව තිබූ මෙන්ඩිස් අරක්කු සමාගම (ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම) රුපියල් මිලියන 3 ක් අවස්ථා 3 කදී සුජීව සේනසිංහට ලබා දී තිබූ බව හෙළි වේ. පළමු ගෙවීම සිදුකර තිබුණේ 2015 අගෝස්තු 17 පැවති මහමැතිවරණයෙන් හරියටම දින 7කට පසුව ය! එම චෙක්පත පසුදිනම සුජීව සේනසිංහ කෑෂ් කරගත්තේය!

දෙවන චෙක්පත සුජීව සේනසිංහට ලැබුණේ 2015 මහමැතිවරණයෙන් මාස 3කට ආසන්න කාලයකට පසුව ය. 

මහමැතිවරණයක් නොපවතින අවස්ථාවක මෙසේ මුදල් ලැබීම ගැන අධිකරණය ඉදිරියේ හෙළිවීමත් සමග සුජීව සේනසිංහ දේශපාලනික වශයෙන් නිර්වස්ත්‍ර විය. ‘‘මේක පොඩි සුනාමියක්‘‘ යැයි ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ නිර්ලජ්ජිත ලෙස ය. මේ මුදල් ලැබුණේ මහමැතිවරණ ජයග්‍රහණයේ පොරොන්දු මුදලක් ලෙස බවත්, තමන්ගේ නම පමණක් මෙයට ඈඳීම ගැන ඉදිරියේදී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කීවේය. 

තවද මෙන්ඩිස් (අරක්කු) සමාගම PTL හි අනුබද්ධ සමාගමක් යැයි තමන් නොදැන සිටි බවත් කීවේය. ‘‘මේක දැනගත්තාම මට හාට් ඇටෑක් එකක් වගේ එන්න ගියා විනාඩි දෙක තුනක්..‘‘ යැයි සුජීව සේනසිංහ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පවසන්නේ සුමිත්‍රා රාහුබද්ධ අධ්‍යක්ෂණය කළ යහළුවෝ චිත්‍රපටයේ සිටි ‘අසෝක‘ මෙන්ම රඟපාමිනි. 

මේ අතර 2020 මහමැතිවරණය වන විට සුජීව සේනසිංහ රනිල් වික්‍රමසිංහ පිළිබඳ අතිශයින්ම කළකිරී සිටියේය. 2020 අගෝස්තු 1 වැනිදා මාධ්‍ය හමුවකදී සුජීව, රනිල් වික්‍රමසිංහට දෙහි කැපුවේ ‘‘එතුමා හැමදාම කළේ ආණ්ඩුවේ සල්ලිවලින් ජීවත් වෙන එක තමයි..‘‘ යනුවෙනි. 

එය නම් පරම සත්‍යයකි. මහබැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමට යෙදවූ මහබැංකුවේ මුදල් යනු, ජනතා මුදල් ය! ආණ්ඩුවේ සල්ලි ය!

එදා 2016 මැයි මස ඇති වූ ගංවතුර උවදුරේදී අධාර මළුවල සිය නම ප්‍රින්ට් කළ සුජීව සේනසිංහ, වතුරේ කරක් බැස සිටි අවතැන් වූ ජනයාට කෙසෙල් ගෙඩිය බැගින් බෙදුවේ උජාරුවෙනි. නමුත් ඔහු කවුද යන්න කාලයත් සමග ආසනයේ ජනතාව තේරුම් ගෙන ඇති සෙයකි.

අවසානයේ රනිල් වික්‍රමසිංහ ඔහුව පක්ෂයෙන් ද පළවා හැරියේය. සමගි ජන බලවේගයෙන් ඔහු සුපුරුදු පරිදි ජනතා කැමැත්ත ඉල්ලා සිටියත් 2020 දී ඔහුට ජනතා ඡන්දයෙන් තේරීපත්වන්නට නොහැකි විය. එසේ වීම සජිත්ගේ ද වාසනාවක් විය යුතුය!

යම් හෙයකින් සුජීව සේනසිංහ, දැන්වත් හෘදසාක්ෂියට එකඟව කතා කරන්නේ නම් ඔහුට රනිල් වික්‍රමසිංහ හා බැඳුම්කරය ගැන බොහෝ දේ කියන්නට තිබෙනවා ඇත. නමුත් බැඳුම්කරයේ සල්ලි බෙදී ගියේ කොහොමද යන්න පිළිබඳ සම්පූර්ණ කතාව ඉතිහාසයේ අබිරහසක් බවට පත් වී වැළලී ඇති හෙයින්, බැඳුම්කර වංචාව ගැනත්, එය වසං කිරීමේ මහා උත්සාහය ගැනත්, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමට තමන් කළ මහා මෙහෙයුම ගැනත් කිසිදා සුජීව සේනසිංහ, කට නොඇරීමට ද ඉඩ තිබේ.

කුඩු කෑ එකාට කිසිදාක ගැළවීමක් නැත. 

එදා අගමැති රනිල් වික්‍රමසිහ, ඩී.ඊ.ඩබ්. ගුණසේකර මන්ත්‍රීවරයා අභියෝග  කළේ ‘හැකිනම් සුජීව සේනසිංහ සමග විවාදයකට එන්න‘ කියා ය. අද අපි සුජීව සේනසිංහ පැරදුණු මන්ත්‍රීවරයාට අභියෝග කරන්නේ ‘‘හැකිනම් කබ්රාල් සමග විවාදයකට එන්න‘‘ කියා ය. නමුත් කොන්දේසි තිබේ. මේ විවාදයේදී දෙදෙනාම විෂයානුබද්ධ ව කතා කළ යුතුය. බෙරිහන් දීම සහ අදාළ නැති දේවල් කියා කෑ ගසා වාචාල කම පෙන්වීම තහනම් ය! 

වැරදි කළ අය, ඒ වැරදි ගැන අසන විට කෝපාවිෂ්ට වී දඟලති. සුජීව සේනසිංහගේ මේ පරල වීම අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවේදී අප දැක තිබේ. 

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.


පෙර ලිපි

හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස