ආර්ථිකයේ සුක්කානම කබ්රාල්ට භාර දෙන්න !

ආර්ථිකයේ සුක්කානම කබ්රාල්ට භාර දෙන්න !

12 August 2020 01:45 am

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට දැවැන්ත කඩාවැටීමකට ලක් වෙමින් තිබේ. මේ වසරේ පළමු කාර්තුවේදී දැනටමත් රටේ ආර්ථිකය සෘණ 1.6%ක් පෙන්වා ඇත. රට මේ වන විට පවතින්නේ වෙනස්ම තැනක ය. අතීතයේ මෙන් බදු වැඩි කිරීම වැනි ජනතාව මත බර පටවන ක්‍රම වලින් ආර්ථික සමෘද්ධිය ළඟා කර ගත හැකි වේ යැයි සිතීම මිත්‍යාවකි. ඒ නිසා දැන් කළ යුත්තේ කුමක්ද?

මෙවරත් 69 ලක්ෂයක ජන වරමකින් තේරී පත් වූ නව ආණ්ඩුව, මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් තිබේ. ඒ, ‘කොටුවෙන් පිටත සිතීම‘ යි. 

මෙයින් අදහස් කරන්නේ සම්ප්‍රදායික රාමුවලින් බැහැර වී නැවුම්, වෙනස් සහ නිර්මාණශීලී අදහස් සමග ආර්ථික පුනර්ජීවනය කරා යාමයි.

මෑත කාලීන ආර්ථික පුරෝකථනවලින් ද පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිළීමේ අවදානමකි. ඒ අනුව ඉහත කී සාධකය අනිවාර්යයෙන්ම වැදගත් වේ. 

බලයට පත් වන ඕනෑම ආණ්ඩුවකට ආර්ථිකය පාලනය කළ හැකි ලීවර දෙකක් තිබේ. එනම් බදු  සහ වියදම් ය. මේ ලීවර දෙකම දැන් පාවිච්චි කළ යුත්තේ ඉතාම කල්පනාකාරීව ය. එසේ නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පොත් තැබීමේදී අය වැය බැලන්ස් නොවනු ඇත. අන් කවරදාටත් වඩා මේ අසමතුලිතතාවය ඉදිරියේදී කැපී පෙනෙන්ට ඉඩ ඇත.

මේ පිළිබඳ ලංකා නිව්ස් වෙබ් (LNW) සමග අදහස් දැක්වූ ආර්ථික විද්වතුන් හැම කෙනෙකුම පාහේ පෙන්වා දුන්නේ ප්‍රධාන අංශවල බදු, නිසියාකාරයෙන් කප්පාදු කළ යුතුව ඇති බවයි. එමගින් ආයෝජන වියදම් සඳහා අවකාශයක් තැනෙනු ඇත. ද්‍රවශීලතාවය පමණක් දැන් සෑහෙන්නේ නැත. ද්‍රවශීලතාවය වැඩි කිරීමෙන් සිදුවන්නේ පරිභෝජනය වැඩි කිරීමට තල්ලුවක් ලැබීම පමණකි. අයවැය හිඟය සහ බාහිර ණය අතිශය සැලකිල්ලෙන් යුතුව කළමනාකරණය කළ යුතුව තිබේ. කළ යුතුව තිබෙන්නේ තවදුරටත් චීනයට සහ ඉන්දියාවට අපේ සම්පත් විකිණීම නොවේ. 

දේශපාලනික මට්ටමෙන් ලංකාවේ ආර්ථිකය මෙවැනි අවදානම් පරිසරයකදී කළමනාකරණයට හොඳම සුදුස්සා කවුද? LNW මේ පිළිබඳ සොයාබැලීමක් කළේය. ඒ අනුව බොහෝ දෙනෙකු අදහස් දැක්වූයේ ඒ සඳහා හොඳම සුදුස්සා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා බවයි. 

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ සුවිශේෂී ආර්ථික තත්වයෙන් ගොඩඒමට නම් කළ යුතු දේ පිළිබඳ දැනටමත් නිර්මාණශීලී අදහස් දක්වා ඇති අයෙකි. ඔහුට පවත්නා තත්වය ගැන මනා වැටහීමක් ඇති අතරම, අර්බුදකාරී අවස්ථාවලදී ආර්ථික සුක්කානම හැසිරවිය යුත්තේ කෙසේදැයි ඔහු හොඳින් දන්නා අයෙකි. 

ඒ සඳහා කබ්රාල් හට පවතින විභවය ගැන හොඳම සාක්ෂිය වන්නේ ඔහු මහබැංකු අධිපතිවරයා වශයෙන් සිටියදී, තිස් අවුරුදු යුද්ධයක් අන්තිම අදියරේ සිටියදී ශ්‍රී ලංකාවේ ආරථිකය 6.4%ක ධන වර්ධනයක් දක්වා සුක්කානම හැසිරවූ නායකත්වය ඔහු වූ බැවිනි. 

ඔහු විසින් රචිත සහ, අපට දැනගන්නට ලැබී ඇති පරිදි අනාගතයේදී සිංහලෙන් ද පළ වීමට නියමිත ''The Great Bond Scam Cover-up'' කෘතිය මගින් ඔහු, යහපාලන රජයේ මහා බැඳුම්කර වංචාව හෙළිකරන අතරම, සෙසු කරුණු අතර ඔහු හෙළි කර තිබෙන්නේ ඔහුගේ නිල කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුෂ්කරතා මධ්‍යයේ වර්ධනය කළ ආකාරයයි. 

ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන  මහතා 2018 ඔක්තෝබර් 15 දා Daily FT පුවත්පතට ‘‘2007 සිට 2009 දක්වා මහබැංකුව කළ මූල්‍ය යුද්ධය‘ක් ගැන මෙසේ ලියයි. 

‘‘‍2007 සිට 2009 දක්වා රට මුහුණ දුන් දැඩි විදේශ විනිමය අර්බුදය තුළ, එල්ටීටීඊ ය සමග යුද්ධයේ උපරිම අවස්ථාවේ සිටියදී යුධ පෙරමුණේ සිටි සොල්දාදුවන් විසින් කළ යුද්ධයට සමගාමීව මහබැංකුව විසින් ද වෙනම මූල්‍ය යුද්ධයක් සිදුකරන ලදී. ශ්‍රී ලංකාවට ආයුධ නොමැති ව තිබූ අතර ලංකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරු වන චීනය රටට ලබා දුන්නේ මාස 3 ක ණය මුදලකි. ලංකා බැංකුව ණයවර ලිපිවල නියමිත දිනයන්වලදී අගරු වීමට මුහුණ දිය යුතු වූ අතර, මහබැංකුවට ඒවා සැපයීමට සිදුවූයේ ඩොලර් වලිනි. ප්‍රමුඛතා පදනම යටතේ මෙකී මූල්‍ය කැපකිරීම සිදුකිරීමට නම් ලංකාව සිය විදේශ විනිමය රැකගත යුතු විය.  

‍මෙම තත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ ගෞරවය කබ්රාල්ට දිය යුතුය. ඒ අනුව යුද්ධය අවසානයක් දක්වා ගෙන යාම සඳහා අවශ්‍ය ව තිබූ ආයුධ යුධ පෙරමුණේ සිටි සොල්දාදුවන් වෙත නොකඩවා සැපයීම සිදුකළ හැකි විය. ඩොලර් මිලියන 500 ක් පමණක් වූ පළමු බැඳුම්කර නිකුතුව රජය විසින් අර්පණය කළ විට 2007 වසරේදී විදේශ ආයෝජකයන් සොයමින් ඔහු ලෝකය පුරා ගිය අයුරු මට සිහිපත් කළ හැකිය. එය වර්තමාන සන්දර්භයේ සාරය වන නමුත්, එය සිදුකරනු ලැබුවේ රට තුළ මෙන්ම රටෙන් පිටත ද වූ අතිශය බලගතු බලවේගයකට එරෙහිව ය.‘‘  
http://www.ft.lk/columns/The-fate-of-the-rupee--Time-to-stop-playing-the--blame-%20excuse-blame-games-/4-664683/

මේ අතර ලංකා බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වන රුසිරුපාල තෙන්නකෝන්, 2019 ජනවාරි 21 දා එම පුවත්පතටම මෙසේ ලියා ඇත.

‘‘මුළු ලෝකයම භයානක ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස හංවඩු ගැසූ මිනීමරු කල්ලියක් සමඟ රට යුද්ධයක යෙදී සිටියදී අවශ්‍ය ආයුධ ලබා ගැනීමට පවා රටට කිසිදු සහායක් නොතිබුණු විට මහබැංකු නිලධාරීහු අතිශය දුෂ්කර සහ අවදානම් සහගත තත්වයකට මුහුණ දී සිටි අතර කබ්රාල් මහතාගේ අධිපතිත්වය යටතේ මහබැංකුව, ආර්ථිකය සුරක්ෂිත කර ගැනීම සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය. වර්තමානයේ මෙන් නොව රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන කිසිදු දුෂ්කරතාවයක් ඒ දිනවල අප අසා තිබුණේ නැත. 
ආයුධ සැපයීමට එකඟ වූ රටවල් පවා එසේ කළේ කිසිදු ප්‍රදානයක් ලෙස නොව වෙළඳ කටයුතු සම්පාදනය කිරීමේ පදනම මත බව RK නොදන්නවා වන්නට ඇත. විවෘත කළ ණයවර ලිපි මාස 3 කින් අගරු වීමට නියමිතව තිබිණි. මෙහි බර ලංකා බැංකුවට දැරීමට සිදු වූ අතර, ලංකා බැංකුව කිසිදු විටෙක එම වගකීම් පැහැර හැරියේ නැත. එය ගිලන් වූ ආර්ථිකයක් කළමනාකරණය කළ දුෂ්කර කාලයක් විය. නමුත් කබ්රාල් මහතා යටතේ මහබැංකු කණ්ඩායම එය කදිමට කළමනාකරණය කළේය.‘‘

http://www.ft.lk/columns/Ravi-K-s-discourse-on-W-A--Wijewardena-s-involvement-in-%20Treasury-bond-issue/4-671245/

බැඳුම්කර වංචාව පිළිබඳ සියලු කමිටු සහ කොමිෂන් සභා විසින් අතිශය නින්දිත ලෙස අසාධාරණයට, අවතක්සේරුවට සහ මානසික හිංසනයට ලක් කළ මේ දක්ෂ මිනිසා අද (12) දිනයේ නව රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බව අපට දැනගන්නට ලැබේ. ඔහුට අපගේ උණුසුම් සුබපැතුම්!

දැන්වත් කබ්රාල් ව නිවැරදිව කියවාගන්නට ලංකාවාසී ජනතාවට හැකි වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.