මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් : ජනපතිතුමනි, SLTDA කිමාලිගෙන් බේරාගන්න!

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් : ජනපතිතුමනි, SLTDA කිමාලිගෙන් බේරාගන්න!

6 August 2020 03:14 pm

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA)  එරෙහිව ලංකා රියල්ටි ලෙෂර් (පුද්) සමාගම ට වාසිසහගත ලෙස කොළඹ දිසා අධිකරණය විසින් ලබාදුන් ඉන්ජන්ෂන් නියෝගය සම්බන්ධයෙන් ‘මං නෑ ඕවට‘ ආකල්පයකින් SLTDA සභාපතිනිය තවදුරටත් කටයුතු කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ, ඇය පත් කළ දේශපාලන අධිකාරිය ද අති දැවැන්ත අවදානමකට ලක් කරමිනි.  

ඒ අනුව SLTDA ට විරුද්ධව සහ Lanka Realty Leisure (Private) Limitedට වාසිසහගත ලෙස කොළඹ දිසා අධිකරණය මගින් ලබාදුන් අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝගය විග්‍රහ කරන්නටත් එම නඩු තීන්දුවේ කොටස්, මෙහි පළ කරන්නටත් අපට සිදුව තිබේ.

කිමාලි, පුද්ගලික ෆේස්බුක් ගිණුමෙන් රංගනයක   

ඇය විසින් ඉතාම නිර්ලජ්ජිත ආකාරයට පෙර ලිපිය පළ වූ අපගේ ෆේස්බුක් පිටුව වෙත පැමිණ, සිය පුද්ගලික ගිණුම මගින්ම සත්‍ය පුවතට සපුරාම වෙනස් ව්‍යාජ පුවතක ලින්ක් එකක් අළවා ගොස් තිබේ!

එම ව්‍යාජ පුවතට අනුව, කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගය ලබාදී තිබෙන්නේ SLTDA ට වාසිසහගත ලෙස ය!

නැත්ත ඇත්ත කරනා රාජ්‍ය සේවකයෙකු පෙන්වන්න යැයි ඔබට කිසියම් කෙනෙකු කීවොත්, දැන් ඔබට ඩිල්මා එම්.ජේ.එෆ් සමාගමේ ලේලිය නහයෙන් පෙන්විය හැකිය. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) පසුගිය නොවැම්බර් මාසයේ පටන් සභාපතිනිය ලෙස ඩෙඟා නටන්නේ ඇයයි.

බළලා මල්ලෙන් එළියට පැනීම

එම ව්‍යාජ පුවත අපගේ ෆේස්බුක් පිටුවේ කමෙන්ටුවක් ලෙස සටහන් කිරීමට ඇය විසින් ඇගේ සැමියා වූද, මෙරිල් ප්‍රනාන්දු පවුලේ පුත්‍රයා වූද, SLTDA සමග අති දැවැන්ත ලෙස අභ්‍යන්තර සබඳතා පවත්වන්නා වූ ද මලික් ජේ. ප්‍රනාන්දු ද සහේට ගෙන තිබේ. 

කොතරම් තිගැස්මට ඔහු පත්ව තිබෙනවාදැයි අප වටහාගන්නේ එකම කොමෙන්ටුව 3 වතාවක් එඩිට් කිරීමට තරම් ඔහු කලබල වී ඇති නිසා ය. 

ඒ අනුව අප විසින් පළ කළ ලිපියේ කිසියම් වරදක් සොයාගන්නට තැත් කරන ඔහු, අඟහරුවාදාවක් ගැන කියයි. ඔහුගේ අවධානයට ලක් වන ඉංග්‍රීසි ලිපියේ අඟහරුවාදා ගැන පවසන්නේ පළමු ඡේදයේ පමණි. ඒ, අදාළ අතුරු තහනම් නියෝගය ලබාදුන්නේ අඟහරුවාදා බව කියන්නට ය. ඒ සරල කාරණය තේරුම්ගත නොහැකි ඔහු, මෙහිදී පළ කරන්නේ අතිශයින්ම අපරිණත හැසිරීමකි.

මේ අතර, SLTDA සමග අතීතයේ පටන් පැවති සබඳතාවලට නියත සාක්ෂියක් ද සපයමින් වයිල්ඩ් කෝස්ට් ලොජ් ඉඩම සඳහා කල්බදු ගිවිසුම ලබාගත්තේ මෙයට වසර 6කට පෙර බව ද සඳහන් කරයි. 

මේ අනුව මලික් ජේ. මෙතැනදී, අතීතයේ SLTDA හි සිටි ප්‍රබල සබඳතා සහිත අයෙකු වශයෙන් නොකියා කියන්නේ අතීතයේ පටන්ම SLTDA තමන්ගේ පවුලේ බිස්නස් එක ව්‍යාප්ත කර ගන්නට උදව් පදව් කළ ආකාරයයි. මේ පිළිබඳ අප මීට පෙර පළ කළ ලිපි වලින් ද සාකච්ඡා කර තිබේ. 

වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් අප විශ්වාස කරන්නේ, SLTDA විසින් මෑත කාලීන ඉතිහාසය තුළ, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ මුවාවෙන් දැන හැඳුනුම්කම් ඇති සහ අභ්‍යන්තර සබඳතා ඇති නිලධාරීන්ගේ පවුල්වලට කොපමණ දේපළ ප්‍රමාණයක් නොමිලේ සහ බදු ක්‍රමයට ලබාදිය යුතුදැයි වහාම හෙළිදරව් කළ යුතු බවයි! 

කිමාලි අධිකරණයට අපහාස කරනවාද?

ශ්‍රී ලංකා නීතිය අනුව අධිකරණ තීන්දුවක් එයට විෂය වන ආයතනය හෝ තැනැත්තා විසින් නොපිළිගන්නා බව හඟවමින් විවේචනයක යෙදීම සහ ඒ පිළිබඳ ව්‍යාජ ඇඟවුම් සිදුකිරීම අධිකරණයට අපහාස කිරීම (Contempt of Court) කි. 

කිමාලි ප්‍රනාන්දු මෙහිදී පළමුවෙන්ම කරන්නේ එයයි. එනම්, ඇය SLTDA හි වාසියට තීන්දුවක් දුන් බව කියන ව්‍යාජ පුවතක් සහිත වෙබ් ලින්ක් එකක් අපගේ ලිපියට පහළින් පළ කරයි. ඇය කෙතරම් කලබලයට පත්ව තිබෙනවාදැයි කියන්නේ නම් එය වරක් නොව දෙවරක්ම පළ කරයි. 

නමුත් අධිකරණ තීන්දුවක් විවෘත ලේඛනයක් බව කිමාලිට පසුව මතක් වූවා විය යුතුය. ඒ අනුව ඇය ලහි ලහියේ නඩු තීන්දුවේ ඇති දේවලින් කොටසක් එතැන ලියයි. ඇයට කීමට අපට තිබෙන්නේ, මේ සියලු තීරණ පෙර ආණ්ඩුවේ ඒවා වුවත්, මේ මොහොතේ පවා ඇය එම තීරණවලට සක්‍රියව සහයෝගය ලබාදෙන බවයි.  

අතුරු තහනම් (ඉන්ජන්ෂන්) නියෝගයේ ඇති දේ

අප නැවත වරක් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) එරෙහිව අඟහරුවාදා දිනයේ ලබාගත් අතුරු තහනම් (ඉන්ජන්ෂන්) වාරණ නියෝගය ඓතිහාසික බවයි. එය ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එල්ල වූ කුළුගෙඩි පහරකි. තවද ‘යුක්තිය ඉටුවනවා පමණක්නොව එය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය‘ යන ස්වභාවික යුක්ති මූලධර්මය සාක්ෂාත් කිරීමකි. 

මෙම තහනම් නියෝගය ලබාගැනීම සඳහා Lanka Realty Leisure (Private) Limited සමාගම අධිකරණයට යන්නේ ඔවුන්ගේ 99 අවුරුදු ලීසිං ගිවිසුම SLTDA විසින් අත්තනෝමතික ලෙස සහ වංචනික ලෙස නැවත පවරාගැනීමට එරෙහිව ය. එනම්, ඔවුන් විසින් මෙම ලීසිං (කල්බදු) ගිවිසුම නීතිවිරෝධී ලෙස අවසන් කිරීමට විරුද්ධව ය. 

අධිකරණය නැවත නැවතත් ප්‍රකාශ කර සිටියේ, නිසි දැනුම් දීමකින් තොරව සහ, කල්බදු ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කරමින් මෙම නීතිවිරෝධී ලෙස ඉඩම නැවත පවරාගැනීමට SLTDA විසින් කටයුතු කර ඇති බව ය. 

එම නඩු තීන්දුවේ සාරාංශය සැකෙවින් මෙසේ ය. 

-  Lanka Realty Leisure (Private) Limited විසින් SLTDA ට එරෙහිව බැලූ බැල්මටම පෙනෙන ශක්තිමත් නඩුකරයක් පවත්වාගෙන යාමට සමත් ව ඇත.

- එය මුල පටන්ම, ජයග්‍රහණය කළ හැකි ආකාරයේ ප්‍රබල නඩු නිමිත්තකි.

- SLTDA විසින් මෙම ඉඩම නැවත පවරාගැනීමට සකස් කළ ‘අවලංගු කිරීමේ ඔප්පුව‘ නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත වේ.

- පාර්ශවයන්ගේ පාලනයකින් තොරව හෝ වෙනත් හේතූන් මත සාධාරණ කාලයකින් ඉඩම සංවර්ධනය කිරීමට Lanka Realty Leisure (Private) Limited  අසමත් ව ඇති අතර, එවිට එම සංවර්ධනය හෝ ඉදිකිරීම් කාලය දීර්ඝ කරවා ගැනීමට ඉල්ලීමක් කිරීමටත් එසේ දීර්ඝ කරවා ගැනීමටත් Lanka Realty Leisure (Private) Limited හට අයිතියක් තිබේ.

- අමාත්‍ය මණ්ඩල තීරණයක් ප්‍රකාරව බදු ගිවිසුම අවසන් කළ බව පිළිගත නොහැක.

- වලංගු නොතීසියකින් ගිවිසුම අවලංගු කිරීමට ප්‍රථම අදාළ අවලංගු කිරීමේ ඔප්පුව ලියා සහතික කරවාගෙන තිබේ.

- අදාළ දේපළ තෙවන පාර්ශවයකට (වන් නේචර් සමාගමට) බදු දීමට පදනම් වන කැබිනට් තීන්දුව සම්බන්ධයෙන් හබකළ නොහැක්කේ එය දිසාඅධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන නිසා ය. 

- ඒ අනුව බදු ගිවිසුම නිසි පරිදි අවලංගු කර නොමැත්තේද යන්න අධිකරණයේ අවධානයට ලක් වේ.

- ඒ අනුව මෙම නඩුවේ විත්තිකරු වන SLTDA ‘වළක්වමින්‘ (එනම් Lanka Realty Leisure (Private) Limited ට වාසිසහගත වන පරිදි) අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝගය නිකුත් කෙරේ. 

එනම් මෙහිදී පෙනී යන්නේ SLTDA විසින් නිසි පරිදි බදු ගිවිසුම අවලංගු කිරීමකින් තොරව එය ‘අවලංගු කිරීමේ ඔප්පුවක්‘ සාදා ඇතැයි අධිකරණය පිළිගත් බව ය. මෙවැනි ඔප්පුවලට සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ ‘හොර ඔප්පු‘ කියා ය.  

ඉහත සාරාංශගත කිරීමටම අනුකූල වන, අදාළ නඩු තීන්දුවේ කොටස් කිහිපයක් පහත දැක්වේ. සභාපතිනිය එම සම්පූර්ණ නඩුතීන්දුවම හොඳ සිහියෙන් කියවන්නේ නම් මැනවි.

 

SLTDA සභාපතිනිය දැන් කියන්නේ අදාළ තීරණ මුලින්ම ගත්තේ තමන් සභාපති පුටුවට පැමිණීමට පෙර බවයි. ඇය ආයතනයික වගකීම් ගැන නොදන්නා නිසාම එසේ පවසන බව අපේ හැඟීමයි. එසේ නැතිනම්, ඇගේ සභාපතිත්වය යටතේ ද SLTDA අතිශය උනන්දුවෙන් යුතුව ‘වන් නේචර්‘ සමාගම සමග අලුත් ‘විශේෂ බදු ගිවිසුම‘ ක්‍රියාත්මක භාවයට පත් කිරීමට ඇඟිලි ගනින්නේ නැත.

ලංකා නිව්ස් වෙබ් වෙත වන් නේචර් සමාගම වරක් දුරකථන සංවාදයකදී ප්‍රකාශ කළේ, ‘‘කිසිම ප්‍රශ්නයක් නැතිව අපි වැඩ පටන් ගන්න බලන් ඉන්නවා. සභාපතිනිය අපිට පූර්ණ සහයෝගය ලබාදෙනවා‘ යනුවෙනි. මේ අනුව SLTDA, වංචනික ලෙස විදේශ සමාගමකට ද බලාපොරොත්තු ලබා දී තිබේ.

ඇය මේ සියලු බල උමතු රංගනයන් සිදුකරමින් ඇය දැන් බලයේ සිටින්නේ 2019 නොවැම්බර් මාසයේ බලයට පත්වූවන්ගේ ආශිර්වාදය, බොරු සෝබන සහ මවාපෑම් මැද දිනා ගනිමිනි. 2019 නොවැම්බර් මාසයේ සිට ආණ්ඩු බලය තිබෙන්නේ කාටදැයි අමුතුවෙන් කිව යුතු නැත. ඇය බලයට පැමිණෙන්නේ ද 2019 නොවැම්බර් මාසයේ සිට ය. කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ වන විට කිමාලි හැසිරෙමින් සිටින්නේ තමන් පත් කළ අධිකාරියට පවා අපහාසයක් වන අන්දමට ය. ජනපතිතුමනි, ප්‍රවේශමෙන්! යන යකා (......?) යන්නේ කොරහත් බිඳ ගෙන ය...!

කිමාලි ප්‍රනාන්දුගේ මේ හිස උදුම්මවාගත් බොරු මමංකාරය වෘත්තීය පළපුරුද්දෙන්ම එන දෙයකි. මෙයට පෙර ඇය ලංකාවේ පුද්ගලික බැංකු ක්ෂේත්‍රයේ එක් පුද්ගලික බැංකුව ඉහළ පෙළේ තනතුරක් හොබවමින් සිටි අතර, අවසානයේ ඇය කෙටි කාලයකින් එයින් ඉවත් වන්නේ මේ ‘මං හරි‘ මාන්නය තුළ එම පුද්ගලික බැංකුවට කොළඹ කොටස් වෙඳෙපොළේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීම ද අහිමි කරමිනි. ඇගේ වෘත්තීය ඉතිහාසය පරීක්ෂා කරන්නෙකුට පෙනී යනු ඇත්තේ ඇගේ පළපුරුද්ද තිබෙන්නේ ඇත්ත මෙන් බොරු කියමින් ආයතන විනාශ කර දමන්නට මිස ඒවා වැඩි දියුණු කරන්නට නොවන බව ය. 

ස්ත්‍රියක ආයතන ප්‍රධානිත්වය දැරීම ලංකාවේ සන්දර්භය තුළ අභියෝගාත්මක බවත් එය අගය කළ යුතු දෙයක් බවත් අපි කිසිදු තර්කයකින් තොරව පිළිගන්නෙමු. නමුත් බල ලෝභයෙන් උමතු වූ පිරිමියෙකුටත් වඩා නරක ලෙස හැසිරෙන මෙවැනි ස්ත්‍රීන් විසින් ලබාදෙන ආදර්ශය ඉතාම නරක සහ අගතිගාමී වේ.

අවසාන වශයෙන් අපට කිමාලි-මලික් ජෝඩුවට කියන්නට තිබෙන්නේ ලංකා නිව්ස් වෙබ් හි ෆේස්බුක් පිටුවට පැමිණ ‘පිස්සු කෙළින්නේ නැතිව‘ අප විසින් පළ කරන ලිපි සඳහා කිසියම් පිළිතුරක් ලබාදීමට තිබේ නම් ඒවා අප වෙත එවන ලෙස ය. එවිට Right to Reply යටතේ අප විසින් ඒවා පළ කරනු ඇත. 

පෙර ලිපි

Exclusive: අලුත් සභාපතිනියගේ පවුල් සංග්‍රහය නිසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) එරෙහිව වාරණ ආඥාවක්

Update : සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත් සභාපතිනිය වෙනුවෙන් පෞද්ගලික නීතීඥයෙක් පෙනී සිටියි!

Exclusive: SLTDA පුද්ගලික සමාගමකට නොමිලේ ඉඩමක් දීලා! - නීතිපතිවත් තුට්ටුවට දමන සභාපතිනියගේ පවුල් සංග්‍රහය තවදුරටත් කරළියට

Exclusive: SLTDA රෙදි ගැළවේ : අතුරු තහනම් නියෝගය ලැබේ