Update : සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත් සභාපතිනිය වෙනුවෙන් පෞද්ගලික නීතීඥයෙක් පෙනී සිටියි!

Update : සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත් සභාපතිනිය වෙනුවෙන් පෞද්ගලික නීතීඥයෙක් පෙනී සිටියි!

30 June 2020 11:15 pm

99 අවුරුදු බද්ද යටතේ ඇස්කොට් ලෙෂර් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලබාගත් ඉඩමක් නීති විරෝධී ලෙස ආපසු පවරා ගැනීමට එරෙහිව ලබා දී තිබූ වාරණ ආඥාව ජූලි 13 දක්වා අද (30) දින දීර්ඝ කෙරිණි.

කොළඹ දිසා අධිකරණයේ මේ නඩුව විභාගයට ගැනීමේදී අද දින සිදුවූ විශේෂම සිදුවීම වූයේ SLTDA සභාපතිනී කිමාලි ෆ්‍රනෑන්ඩෝ ඇතුළු සංචාරක සංවර්ධන අධිකාරියේ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටීමයි. 

මේ අනුව සුපුරුදු පරිදි SLTDA සභාපතිනිය නීතියෙන් නියම කර ඇති නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර නැවත වරක් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති බව පැහැදිලි වෙයි.  

එනම්, SLTDA හෙවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය රාජ්‍ය ආයතනයක් වන බැවින්, එම ආයතනවලට එරෙහි නඩු කටයුතු සඳහා පෙනී සිටිය යුතු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. එයට ව්‍යාතිරේඛී අවස්ථාවලදී පෞද්ගලික නීතීඥ සහාය ලබාගන්නේ නම් ඒ සඳහා අදාළ රාජ්‍ය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහ මුදල් අමාත්‍යාංශයේ ද අනුමැතිය ලබාගත යුතුය. 

ඒ අනුව මෙම සිදුවීම රජයේ පරිපාලන රෙගුලාසි මෙන්ම රජයේ මූල්‍ය රෙගුලාසි ද අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ විරෝධය නොතකා...

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මීට පෙර එක් අවස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලබාගැනීමට සභාපතිනිය උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවයි. එහිදී අධ්‍යක්ෂ මණ්ඩලය එක හඬින් කියා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා ලෙස ය.

SLTDA සභාපතිනී කිමාලි  ෆ්‍රනෑන්ඩෝ

කොවිඩ් වසංගතය හමුවේ ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවේදී කිමාලි ෆ්‍රනෑන්ඩෝ මහජන මුදල් තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ පරිහරණය කරමින් රුපියල් මිලියන ගණනක නීතීඥ ගාස්තු ගෙවීමට සූදානම් වන්නේදැයි එහිදී ඔවුන් විසින් දැඩි විරෝධයක් නගා ඇත.  

අදාළ ප්‍රශ්නගත ඉඩම සඳහා  ඇස්කොට් ලෙෂර් පුද්ගලික සමාගම (දැන් ලංකා රියල්ටි ලෙෂර් පුද්ගලික සමාගම) රු. මිලියන 30 ක පමණ මූලික ගෙවීමක් සමග 2020 දෙසැම්බර් මාසය දක්වාම බදු මුදල් ද ගෙවා තිබියදීත්, SLTDA විසින් බදු ගිවිසුම නීත්‍යානුකූල ලෙස අවසන් කිරීමකින් තොරව ‘ප්‍රකාශන ඔප්පුවක්‘ සකස් කර එය ලියාපදිංචිය සඳහා යොමු කර ඇති බව මීට පෙර නඩු දිනයේදී අධිකරණය හමුවේ හෙළිදරව් කෙරිණි. මේ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ෆ්‍රනෑන්ඩෝ, එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ, භාණ්ඩාගාර අධ්‍යක්ෂිකා අනෝමා නන්දනී ඇතුළු සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් ගණනාවකට එරෙහිව මෙම නඩුව විභාග වේ. 

මේ අනුව ජූලි 13 වැනිදා මෙම වාරණ ආඥාවට අදාළව ලිඛිත සැළ කිරීම් සලකා බැලීමට නියමිත ය. එහිදී ජූනි 20 දා ලබාදුන් සහ ජූලි 13 වැනිදා දක්වා බලපැවැත්වෙන - SLTDA ට එරෙහිව ලබාදුන් අතුරු තහනම් නියෝගය, ස්ථිර තහනම් නියෝගයක් බවට පත් කිරීමට අදාළව විරෝධතා තිබේ නම් ඒවා SLTDA විසින් ගොනු කළ යුතුය. 

නව ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලෙස පත්වූ කිමාලි ෆ්‍රනෑන්ඩෝ, 99 අවුරුද්දකට බදු දුන් ඉඩමක් ගැන මේ සා අසීමිත උනන්දුවක් දක්වන්නේ ඇගේ පවුල් සංග්‍රහ උමතුව නිසා බව පසුගිය ලිපියෙන් අපි හෙළිදරව් කළෙමු. කිමාලි ෆ්‍රනෑන්ඩෝ ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩිල්මා - Dilmah/M J F සමාගම් සමූහයේ අධිපති මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝගේ ලේලිය හෙවත් බාල පුත්‍රයාගේ බිරිඳ වේ. මෙම ප්‍රශ්නගත ඉඩමට යාබද ඉඩමක හිමිකාරිත්වය ද තිබෙන්නේ ඩිල්මා සමාගමට ය. 

මේ අතර අපට නවතම තොරතුරුවලින් දැනගන්නට ලැබෙන්නේ මෙම ඉඩම වංචනික ලෙස විදේශ සමාගමකට පැවරීමට ඇය විසින් ක්‍රියා කරමින් සිටින බවයි. මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 

පෙර ලිපිය -

Exclusive: අලුත් සභාපතිනියගේ පවුල් සංග්‍රහය නිසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) එරෙහිව වාරණ ආඥාවක්