රිට්ස් කාල්ටන් හා ජේඩබ්ලිව් මැරියට් ශ්‍රී ලංකාවේ!

රිට්ස් කාල්ටන් හා ජේඩබ්ලිව් මැරියට් ශ්‍රී ලංකාවේ!

13 February 2020 10:37 am

ජාත්‍යන්තර තලයේ ඉහළම සුපිරි හෝටල් දාමයන් වන රිට්ස් කාල්ටන් හා ජේඩබ්ලිව් මැරියට් ශ්‍රී ලංකාවේ මිරස්ස හා මීගමුව ප්‍රදේශ වලදී එළි දැක්වීමට නියමිත බව වාර්තා වෙයි. 

ඒ අනුව ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සභාපති ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ සමර් සීසන් ලිමිටඩ් හි සභාපති මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන් විසින් අවබෝධතා ගිවිසුම් දෙකකට එළඹ තිබේ. 

මෙම අවස්ථාවට මැරියට් ඉන්ටර්නැෂනල් හි කලාපීය ව්‍යාපාර සංවර්ධන උප සභාපති කිරාන් ඇන්ඩිකොට් සහ හේලීස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ සහ හේලීස් ලෙෂර් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් කාර් යන මහත්වරු සහභාගී වූහ.

ධම්මික පෙරේරා මහතා මැරියට් ඉන්ටර්නැෂනල් හි ආසියා පැසිෆික් (චීනය හැර) සභාපති රජීව් මෙනන් මහතා සමඟ අවබෝධතා ගිවිසුමට එළඹි අතර, හේලීස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක මිරිස්ස ඉදිකෙරුණු රිට්ස් කාල්ටන් හෝටලය සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. 

ජේඩබ්ලිව් මැරියට් එළඹෙන 2021 වර්ෂයේ සිව්වන කාර්තුවේදී මීගමුව ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිතය. තරු පහේ හෝටලයක් වන මීගමුවේ ඉදිකළ ජේඩබ්ලිව් මැරියට් කාමර 500 කින් සමන්විතය.

එමෙන්ම, රිට්ස් කාල්ටන් එළඹෙන 2022 වර්ෂයේ තුන්වන කාර්තුවේදී මිරස්ස ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිතය. එහි කාමර 228 ඇති බවට පැවසේ.

දිවයිනේ අලංකරණයට යළි අර්තකථනයක් ලබා දෙමින් එළිදැක්වීමට නියමිත මෙම හෝටල් සංකීර්ණ කඩා වැටුණු ආර්ථිකය හමුවේ මහත් ආයෝජනයක් රටට අත් කර දීමට සමත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයහු පෙන්වා දෙති. සංචාරක කර්මාන්තය හා විවේක විනෝදාස්වාද ආදී ක්ෂේත්‍ර ඔස්සේ රට තුළට ආයෝජනයන් ගලා ඒමට මෙකී හෝටල් දාම ඉවහල් වනු ඇති බවට ඔවුහු අවධාරණය කරති. 

විශේෂයෙන්ම ආගන්තුක සත්කාරය පිළිබඳ අභිමානයක් පවතින ශ්‍රී ලංකාවේ එම සංකල්පය ඔස්සේ ඉහළ තලයේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම තුළින් රටේ ආර්ථිකය නඟා සිටුවීමෙහි ලා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ දැක්ම හා පරිශ්‍රමය මහත් සේ ඇගයීමට ලක්කළ යුතුය. 

MIAP

ඡායාරූප - ඩේලි මිරර්