DLB අලෙවි නියෝජිතයන්ට ශත 25 ක අතිරේක කොමිස් මුදලක්

DLB අලෙවි නියෝජිතයන්ට ශත 25 ක අතිරේක කොමිස් මුදලක්

9 August 2019 04:00 pm

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම හදවත බඳු අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල 2019 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශත 25 කින් වැඩි කිරීමට කටයුතු කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සහ සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය විසින් පසුගිය කාල වකවානුව තුළ තම කොමිස් මුදල සත විසිපහකින් ඉහළ දමන ලෙස කරන ලද ඉල්ලීම සළකා බලමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළමනාකාරීත්වය හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සමග පැවති සාකච්ජාවකදී පැමිණි එක්‍ඟත්වයකට අනුව මුදල් අමාත්‍යංශයේ නිර්දේශ මත ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ අලෙවි කරන සෑම ලොතරැයි පතක් සඳහාම සත විසිපහක අතිරේක කොමිස් මුදලක් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසර දෙකක කාලය තුළ අලෙවි නියෝජිත හා අලෙවි සහයක ජාලය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ලොතරැයි කුටි නවීකරණය කිරීම, වටිනාකමින් 50% ක් පමණක් අය කරමින් නව අලෙවි කුටි ලබාදීම, විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින් සඳහා තුන් රෝද රථ (ට්‍රයිසිකල්) ලබාදීම, සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම උදෙසා වෛද්‍ය සායන පැවැත්වීම, අලෙවි නියෝජිත මහත්මීන්ගේ විශ්ව විද්‍යාල දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අසාධ්‍ය රෝගී තත්වයන්වලදී මුල්‍යාධාර ලබාදීම මෙන්ම දිරි දීමනා ගෙවීම් වැනි මෙහෙවර ගණනාවක් සිදුකර ඇත.

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගින් 80% දක්වා පහළ වැටුණු අලෙවිය මේ වනවිට 103% ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඒ වෙනුවෙන් මණ්ඩලයේ ප්‍රණාමය සියලු දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින්ට, අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහයකයින් වෙත පුද කරන බව මණ්ඩලය සඳහන් කරයි.

මෙම කොමිස් මුදල වැඩි කිරීමත් සමග අලෙවි නියෝජිත ජාලය තම උනන්දුව හා කැපවීම තව තවත් ඉහළ නංවා ගනිමින් අලෙවියෙහි පැහැදිලි වර්ධනයක් ලබා ගනු ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය විශ්වාස කරයි.