කන්ටේනර් ටෝක්!

කන්ටේනර් ටෝක්!

20 June 2019 04:00 pm

හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහගේ ප්‍රකාශයක් වෙත ඇනෝ කෙනෙක් විසින් අවධානය යොමු කරලා තිබුණා. ඔහුගේ ප්‍රකාශයේ සාරාංශය ගත්තොත් එය මෙවැන්නක්. කතාවේ තිබෙන අවශේෂ කරුණු ගැන මම කතා කරන්න යන්නේ නැහැ.

"රජයේ දවසක ආදායම රුපියල් බිලියන පහක්. වියදම රුපියල් බිලියන හතක්. බදු අනුපාතික ඉහළ නොදමා රජයේ ආදායම දවසකට රුපියල් රුපියල් බිලියන හයක් හතක් දක්වා ඉහළ දැමීම පහසුවෙන් කළ හැකි දෙයක්. ඒ වගේම වියදම රුපියල් බිලියන පහක් දක්වා අඩු කරන එකත් පහසුවෙන් කළ හැකි බව ඔප්පු කර තිබෙන දෙයක්."

දැන් මේ ප්‍රකාශය අනුව, දවසකට රුපියල් බිලියන දෙකක් වන රජයේ අයවැය හිඟය රුපියල් බිලියන දෙකක අතිරික්තයක් කර ගැනීම ඉතාම පහසු වැඩක්. මේ කතාව ඇත්තද? නැත්නම්, මේකත් තවත් ගැලරි ටෝක් එකක් විතරද?

ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි සරල ප්‍රකාශයක්. ඒ නිසා, අපි මුලින්ම ඔහු කියන සංඛ්‍යාලේඛණ වලින්ම පටන් ගනිමු. ඔහුගේ ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක ආදායම හා වියදම බිලියන වලින් බැලූ විට ගොඩක් දෙනෙකුට කතාව තේරුම් ගන්න පහසුයි.

රජයේ දවසක ආදායම (2018දී රුපියල් බිලියන වලින්) - 5,260
රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්) - 7,379

මේ අනුව, මේ ගණන් රුපියල් බිලියන වලින් 5,000 හා 7,000 ලෙස සඳහන් කිරීමේ වැරැද්දක් නැහැ. 2018දී රුපියල් බිලියන වලින්ම මේ වියදම් මොනවාද කියා අපි වැඩි දුරටත් හොයා බලමු.

රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්)
ප්‍රාග්ධන වියදම්- 1,678
පුනරාවර්තන වියදම්- 5,725

මෙයින් පුනරාවර්තන වියදම් වැඩි දුරටත් පහත ආකාරයට කොටස් කළ හැකියි.
රාජ්‍ය සේවක වැටුප්- 1,715
පොලී වියදම්- 2,335
සහනාධාර- 1,182
භාණ්ඩ හා සේවා මිල දී ගැනීම්- 493

දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කරන ආකාරය ගාමිණි විජේසිංහගේ කතාවේ උපුටා දක්වා ඇති කොටසේ නැහැ. ඔහු ඒ බව පෙන්වා ඇති තැනක් ඇත්නම් ඒ ගැන වැඩිදුර කතා කළ හැකියි. මගේ පෞද්ගලික අදහසනම් කවුරු මුදල් අමාත්‍යාංශය භාර ගත්තත් ගාමිණි විජේසිංහ කියන ආකාරයට දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කළ නොහැකි බවයි.

යහපාලන ආණ්ඩුව යටතේ පසුගිය වසර හතර ඇතුළත ප්‍රාග්ධන වියදම් විශාල ලෙස කප්පාදු කර තිබෙනවා. ඇතැම් විට මේ වසර හතර ඇතුළත ක්ෂය වූ ප්‍රාග්ධනයේ ප්‍රමාණයටවත් අලුතින් ප්‍රාග්ධන ආයෝජන සිදු කර නැති වෙන්න පුළුවන්. රටේ පාරවල් දිහා බැලූ විට මේ බව පෙනෙනවා. බොහෝ පාරවල් 2014 අගදී තිබුණු මට්ටමට නඩත්තු වී නැහැ.

ප්‍රාග්ධන වියදම් මීටත් වඩා අඩු කළොත් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය වී යාම පමණයි. රෝහල් වල උපකරණ කැඩෙන විට ඒවා පිළිසකර කළ යුතුයි. ගොඩ දාන්න බැරි මට්ටමට ආ විට අලුත් උපකරණ මිල දී ගත යුතුයි. එසේ නොකළොත්, සෞඛ්‍ය සේවකයින් සිටි පමණින් නිසි පරිදි ප්‍රතිකාර කළ නොහැකි වෙනවා. රජයේ කාර්යාල වල පරිගණක කල් ඉකුත් වන විට අළුත් පරිගණක මිල දී ගත යුතුයි. පරිගණකයක් නැතිව පරිගණක ක්‍රියාකරුවෙකුට කළ හැකි දෙයක් නැහැ. වාහන අබලන් වන විට අළුත් වාහන මිල දී ගන්න වෙනවා. වාහනයක් නැතිව රියදුරෙකුට වැටුප් ගෙවා නඩත්තු කළා කියා කිසිදු නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ. දවසකට ප්‍රාග්ධන වියදම් සේ වැය කරන රුපියල් බිලියන 1,678 තවදුරටත් කප්පාදු කිරීමෙන් වෙන්නේ රාජ්‍ය අංශයේ සේවකයින් සෑහෙන පිරිසකට වැඩක් නොකර වැටුප් ගන්න වෙන එකයි. එවැනි කප්පාදුවක් දිගුකාලීනව එය රටට බොහෝ හානිකර විය හැකියි.

පොලී වියදම් වලින් සතයක්වත් අඩු කරන්න අමාරුයි. දැනටම අරගෙන තිබෙන ණය වලට කලින් පොරොන්දු වී ඇති පොලී ගෙවන්නම වෙනවා. ඒ වගේම, රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්න බැහැ. රාජ්‍ය සේවකයින් සේවයෙන් ඉවත් කරන්නත් බැහැ. දැනට සිටින රජයේ සේවකයින් ප්‍රමාණයට සාපේක්ෂව රජය විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරන්නේ ඉතා අඩු මුදලක්. ප්‍රාග්ධන වියදම් මෙන්ම මේ වියදම්ද තවත් අඩු කරන්න අමාරුයි. රජයේ කාර්යාල වල කටයුතු අවම මට්ටමින් හෝ කරන්න ලිපි ද්‍රව්‍ය, ඉන්ධන ආදී විවිධ වියදම් දරන්නම වෙනවා. මේ වියදම් තවත් කැපුවොත් වෙන්නේ රජයේ සේවකයින්ට වැටුප් ගෙන වැඩක් නොකර ඉන්න වෙන එකයි.

හැබැයි එකවර විශාල රාජ්‍ය සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීම වැනි දෙයක් කළොත්නම්, සමානුපාතිකව ඇතැම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් යන වියදම් හා ප්‍රාග්ධන වියදම් කප්පාදු කළ හැකියි. එවැන්නක් කරන්න කිසිදු ආණ්ඩුවක් පෙළඹෙයි කියා හිතන්න බැහැ.  ගාමිණි විජේසිංහ එවැන්නක් යෝජනා කරනවා කියා මා හිතන්නේත් නැහැ.

මේ සියල්ලට අමතරව ඉතිරිව තිබෙන්නේ විවිධ සහනාධාර සඳහා යන වියදම්. වියදම් අඩු කරනවානම් සාපේක්ෂව පහසුම දේ මේ ඇතැම් සහනාධාර නොදී ඉන්න එකයි. ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ එවැන්නක්ද? එසේනම්, ඒ විදිහට කපා දැමිය යුත්තේ කවර සහනාධාරද?

ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක වියදමෙන් රුපියල් බිලියන 2,000ක් අඩු කරන එක මටනම් හිතාගන්නවත් අමාරු දෙයක්. රුපියල් බිලියන දෙතුන් සීයක්නම් කොහොම හරි අඩු කර ගන්න උත්සාහ කළ හැකියි. නමුත්, රජයේ වියදම් දවසකට රුපියල් බිලියන 5,000 දක්වා අඩු කරනවා කියන එක රුපියල් 2,500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියනවා වගේ කතාවක්.

අපි ආදායම් පැත්තත් බලමු. ආදායම් වැඩි කිරීම හා අදාළව ඔහු සතුව යෝජනාවක් තිබෙන බව පේනවා. ඔහුගේ ප්‍රකාශය අනුව, ලංකාවට දවසකට එන කන්ටේනර් 1,500කින් පරීක්ෂාවට ලක්වන්නේ 100ක් පමණයි. මෙසේ කීමෙන් ඔහු අදහස් කරන්නේ මේ කන්ටේනර් 1,500ම පරීක්ෂාවට ලක් විය යුතු බව වෙන්න පුළුවන්.

වරායේදී කන්ටේනර් පරීක්ෂා කරන ක්‍රමවේදය ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත්, මේ වගේ තැනකදී අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කිරීම සම්මත ක්‍රමයක්. ප්‍රසස්ථ ක්‍රමය වන්නේද එසේ නියැදි පරීක්ෂාවක් කිරීමයි. මේ ගණන් නිවැරදියි කියා උපකල්පනය කළොත් ඕනෑම කන්ටේනරයක් පරීක්ෂාවට ලක් වෙන්න 1/15ක සම්භාවිතාවක් තිබෙන නිසා බොහෝ දෙනෙක් බදු වංචාවක් කිරීමට පෙර ඒ ගැන හිතා බලනවා. ඒ වගේම, "දැක්කොත් බුවා නොදක්කොත් එබුවා" කියා පරීක්ෂාවට ලක් නොවෙන්න 14/15ක සම්භාවිතාවක් තිබීමේ වාසිය ගන්න අයත් ඉන්න පුළුවන්.

අවුරුදු විස්සකට පමණ පෙර මා අසා තිබුණා බදු නොගෙවා ලංකාවට පාවහන් ගෙන්වන ආනයනකරුවෙක් පිළිබඳ කතාවක්. තායිලන්තයෙන් පාවහන් මිල දී ගන්නා ඔහු මේ පාවහන් ලංකාවට එවන්න කලින් ඒවා දකුණු හා වම් කකුල් පාවහන් ලෙස ගොඩවල් දෙකකට වර්ග කරනවා. ඉන් පසු, මේ වර්ග දෙක වෙන වෙනම නැව්ගත කරනවා. බොහෝ විට මේ පාවහන් පරීක්ෂාවට ලක් වන්නේ නැහැ. වෙන වෙනම එන තොග ලංකාවට ලැබුණු පසු ලංකාවේදී දකුණු හා වම් කකුල් එකතු කර ගන්නවා.

සමහර වෙලාවට පාවහන් තොගයක් රේගු නිලධාරීන්ට අහු වෙනවා. එවිට මේ ආනයනකරු දඩමුදල් ගෙවා පාවහන් නිදහස් කරගන්න යන්නේ නැහැ. පාවහන් තොගය රාජසන්තක වෙනවා. ඉන් පසු මේ පාවහන් වෙන්දේසියේ දමනවා. නමුත්, කවුරුත් ලන්සු තියන්නේ නැහැ. එක කකුලක් විතරක් මොකටද? අන්තිමට අර මනුස්සයාම ගිහිං පොඩි ගාණකට වෙන්දේසියෙන් පාවහන් තොගය ගන්නවා. අරගෙන තමන් ළඟ තිබෙන අනික් කකුල සමඟ මැච් කර ගන්නවා. ඔය කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් ආනයනික භාණ්ඩ තොග සියල්ලම පරික්ෂා කරනවානම් ඔය වගේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ.

අපි හිතමු ගාමිණී විජේසිංහ කියනවා වගේ රේගුව කන්ටේනර් සියල්ල පරික්ෂා කරන්න පටන් ගත්තා කියලා. වැඩේ පටන්ගත් අලුත, බදු වංචා කරුවන් ගණනාවක් අහු වෙයි. නමුත්, ඒ වෙනුවෙන් දැනට වඩා විශාල රේගු නිලධාරීන් පිරිසක් අවශ්‍ය වෙනවා. අනෙක් වියදම්ද සමානුපාතිකව ඉහළ යනවා. එවැනි වියදමක් දරා බදු වංචාකරුවන් අල්ලා ගත්තා කියා කියමුකෝ. එයින්, පසුව ඒ අය දිගින් දිගටම බදු ගෙවමින් කලින් වගේම භාණ්ඩ ආනයනය කරයිද?

ඇතැම් අය අවදානමක් ගෙන බදු වංචා කර භාණ්ඩ ආනයනය කරන්නේ ඒ භාණ්ඩ විකුණා ලාබයක් ලබන්නයි. මේ වගේ භාණ්ඩ සාමාන්‍යයෙන් විකිණෙන්නේ අඩු මිලකටයි. හරියට බදු ගෙවුවොත් ඔවුන්ට එවැනි අඩු මිලකට බඩු විකුණන්න බැහැ. මිල වැඩි කළොත් මේ භාණ්ඩ විකිණෙන්නේ නැහැ. මෙවැනි ආනයනකරුවන් වැඩේට අත ගහන්නේම බදු නොගෙවා භාණ්ඩ රට ඇතුළට පන්නා ගැනීම පිළිබඳව තිබෙන විශ්වාසය මතයි. ඒ නිසා, ගාමිණී විජේසිංහ යෝජනා කරන විදිහට රේගුවේ හිල් සියල්ලම වැහුවොත් වෙන්නේ එවැනි අය බොහෝ දෙනෙක් වැඩේ නවත්වන එකයි. එවිට, බදු වංචා නැවතුණත් ඔහු අපේක්ෂා කරන ආකාරයට රජයේ ආදායම වැඩි වෙන්නේ නැහැ. අමතර රේගු නිලධාරීන් පිරිසක් නඩත්තු කරන්න සිදුවීම නිසා වියදම වැඩි වෙන එක සැලකූ විට අන්තිමට රජයේ ආදායම වැඩි වනවාට වඩා වියදම වැඩි වෙන්නත් පුළුවන්.

පොදුවේ රටේ ආර්ථිකය ගැන සැලකුවාම කන්ටේනර් සියල්ලම පරීක්ෂා කරන්න යාමේ විශාල ආර්ථික පිරිවැයක්ද තිබෙනවා. පරීක්ෂාව සඳහා ගත වන කාලය තුළ ඇතැම් භාණ්ඩ නරක් වෙන්න පුළුවන්. ඇතැම් භාණ්ඩ විකුණා ගැනීමට තිබෙන අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. ඒ වගේම, භාණ්ඩ වෙළඳපොළට එන්න කලින් සිදුවන පැයක හෝ ප්‍රමාදයක් කියන්නේ විශාල ප්‍රමාදයක්. මේ වගේ යෝජනාවක වක්‍ර ආර්ථික පිරිවැය විශාලයි. මේ හේතුව නිසා ආනයන වෙළඳාම අධෛර්යමත් වීමෙන් රජයේ බදු ආදායමට යම් සෘණාත්මක බලපෑමක්ද විය හැකියි. මෙවැනි යෝජනාවක් කවදාවත් බදු වංචා කරන්න නොහිතන ආනයනකරුවෙකුගේ හෝ සතුටට හේතු වෙන්නේ නැහැ.

කන්ටේනර් පරීක්ෂා කිරීමේදී 1/15ක් පමණක් පරීක්ෂා කිරීම ප්‍රසස්තම මට්ටමද කියා මා දන්නේ නැහැ. නමුත්, කන්ටේනර් සියල්ලම පරීක්ෂා කිරීමනම් කාර්යක්ෂම ක්‍රමවේදයක් නෙමෙයි. ආදායම් බදු ආදිය හා අදාළවත් තත්ත්වය මෙවැන්නක්. නියැදි පරීක්ෂාවන් කළ යුතු ආකාරය ගැන මනා දැනුමක් තිබෙන නිලධාරීන් අදාළ ආයතන වල ඉන්න නිසා ඔවුන් මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගෙන ඉන්නවා කියා හිතන්න අමාරුයි.

පැත්තක ඉඳන් විවේචනය කරන එක පහසුයි. නමුත්, වැඩක් කරන එක ඒ තරම්ම ලේසි නැහැ.

- https://economatta.blogspot.com/2019/06/blog-post_18.html