රුපියල නැවත ශක්තිමත් වෙයි

රුපියල නැවත ශක්තිමත් වෙයි

30 May 2019 12:00 pm

2019 වසරේ මේ දක්වා වූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල 3.8% කින් ශක්තිමත් වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් වසර අගභාගයේදී ශ‍්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වේගයෙන් අවප‍්‍රමාණය විය.

මෙම වසරේ මුල් කාර්තුවේ ද වරින් වර ශ‍්‍රී ලංකා රුපියල එලෙස අවප‍්‍රමාණය වුණත් සමස්තයක් ලෙස රුපියල දැන් ශක්තිමත් වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුවද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල කෙටි කාලීනව අවප‍්‍රමාණය වූ නමුත් එම පසුබෑමද මේ වනවිට ආවරණය වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඊයේ (29) ගනුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 174.16ක් වු අතර විකුණුම් මිල රුපියල් 178. 11ක් ලෙස සටහන්ව තිබිණ.