සංචිත පොලී අනුපාතිකය තවත් පහළට

සංචිත පොලී අනුපාතිකය තවත් පහළට

25 February 2019 03:29 pm

පසුගිය සතියේ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේදී, මාර්තු 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාණිජ බැංකුවල තැන්පතු මත වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5% දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මීට පෙර පසුගිය වසර අවසානයේදී මේ අනුපාතය 7.5% මට්ටමේ සිට 6% මට්ටම දක්වා අඩු කළා. මා හිතන විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉතිහාසයේ කිසි දිනක 5% මට්ටමට අඩු කර නැහැ.
 
වාණිජ බැංකුවල තිබෙන තැන්පතුකරුවන්ගේ මුදල්වලින් යම් අවම ප්‍රතිශතයක් ණය සේ නැවත නිකුත් නොකර මහ බැංකුවේ රඳවා තැබිය යුතුයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියා කියන්නේ එයටයි. මේ අනුපාතය පාලනය කිරීම මගින් රටේ මුදල් සැපයුම පාලනය කළ හැකියි.
 
බැංකුවලින් ණය සේ නිකුත් කරන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් කවුරු හෝ විසින් වියදම් කරන නිසා නැවතත් බැංකු පද්ධතිය තුළටම ආපසු එනවා. එවිට බැංකුවකට එම මුදල් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ අනුව, එකම රුපියල බැංකු විසින් කිහිප වරක්ම ණය සේ නිකුත් කරනවා. මෙය හඳුන්වන්නේ මුදල් ගුණනය කිරීම ලෙසයි. මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් හේතුවෙන් රටේ මුදල් සැපයුම කොපමණ ඉහළ යනවාද කියන එක තීරණය වන්නේ මේ ආකාරයට මුදල් ගුණනය වන අනුපාතය හෙවත් මුදල් ගුණකය මතයි. මුදල් ගුණකය තීරණය වන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මතයි.
 
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ මුල් කාලයේදී මහ බැංකුවට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමිය හැකි අවම සීමාවක් තිබුණා. ඒ අනුව, මුල් කාලයේදී, බැංකු ජංගම ගිණුම් ශේෂයෙන් 10% ක් හා ඉතිරි කිරීම් ගිණුම් ශේෂයෙන් 5% ක් හෝ මහ බැංකුව විසින් නියම කරන ඊට වඩා වැඩි අනුපාතයක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාපිත තැන්පතු සේ රඳවන්න වාණිජ බැංකුවලට සිදු වුනා.
 
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% ක් කියන එකෙන් අදහස් වෙන්නේ වාණිජ බැංකුවක් වෙත තැන්පතු සේ පැමිණෙන රුපියල් 100 කින් ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90 ක් පමණක් බවයි. මේ ණය නැවතත් තැන්පතුවක් සේ බැංකු පද්ධතිය තුළට පැමිණි විට එයින් 90% එනම් රුපියල් 81 ක් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ ක්‍රියාවලිය කෙළවර වෙන්නේ රුපියල් 100 මෙන් කිහිප ගුණයක් ණය සේ නිකුත් කිරීමෙන් පසුවයි.
 
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% සිට 5% දක්වා පහත හෙළූ විට පළමු වටයේ නිකුත් කරන ණය ප්‍රමාණය රුපියල් 95 දක්වාත්, දෙවන වටයේදී රුපියල් 90.25 දක්වාත් ආදී වශයෙන් ඉහළ යනවා. ඒ කියන්නේ මුදල් ගුණකය ඉහළ යනවා.
 
රටක ආර්ථිකයට අළුත් මුදල් නිකුත් කිරීමේ හැකියාව තිබෙන්නේ මහ බැංකුවටයි. එය අපි සල්ලි අච්චු ගැහීම කියා හඳුන්වනවා. ඒ ක්‍රියාවලිය ගැන මා වරින් වර විස්තර කර තිබෙනවා. මේ විදිහට මහ බැංකුව විසින් අලුතින් නිකුත් කරන මුදල් රටේ බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා ගුණනය කරන නිසා, මහ බැංකුව අච්චු ගහන සෑම රුපියලකින්ම මුදල් සැපයුම රුපියල් ගණනාවකින් ඉහළ යවනවා. උදාහරණයක් විදිහට මුදල් ගුණකය 5 නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 5 කින් ඉහළ යනවා. මුදල් ගුණකය 7 නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 7 කින් ඉහළ යනවා.
 
මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළූ විට වාණිජ බැංකුවලට මහ බැංකුවේ සංචිත සේ රඳවා තිබුණු මුදල් බිලියන ගණනක් නිදහස් කරගන්න ලැබෙනවා. ඉන් පසු එම මුදල් ණය සේ නිකුත් කිරීමත්, ඒ ණය නැවත බැංකු පද්ධතියට ආපසු පැමිණි විට නැවත නැවතත් නිකුත් කිරීමත් හරහා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. මෙහිදී මහ බැංකුව විසින් අළුතින් මුදල් අච්චු ගැහීමක් සිදු නොවුනත්, දැනට නිකුත් කර තිබෙන මුදල් ප්‍රමාණය ඉහළ අනුපාතයකින් ගුණනය වීම නිසා මුදල් සැපයුම ඉහළ යනවා. එහි බලපෑම උද්ධමනකාරී එකක්.
 
මේ වෙලාවේ මේ ආකාරයට මුදල් සැපයුම ඉහළ යවන්න මහ බැංකුව පෙළැඹී තියෙන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතය එහි විභව මට්ටමෙන් පහළට වැටී තිබීම මත පදනම්වයි. 2009 දී සිවිල් යුද්ධය අවසන් වීමට ආසන්න කාලයේ හා එයින් පසුව ලංකාවේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටම ඉක්මවා ඉහළ ගියා. එවිට, එය ස්වභාවිකවම නැවත නියම පථයට වැටිය යුතුයි. 2013 පමණ සිට එය සිදු වුණා. නමුත්, මේ වනවිට එම ස්වභාවික නිවැරැදි වීමෙන් නොනැවතී ආර්ථික වර්ධනය එහි විභව මට්ටමද ඉක්මවා පහත වැටී තිබෙනවා.
 
ඉකොනොමැට්ටාගේ සතපහ