ලෝක ටෙස්ට් ශූරතා චාරිකාව ජයග්‍රහණයකින්ම අරඹයි

ලෝක ටෙස්ට් ශූරතා චාරිකාව ජයග්‍රහණයකින්ම අරඹයි

25 November 2021 03:34 pm

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අවසන් විය. ඒ සත්කාරක‌ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනි.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ සන්ධ්‍යාවේ ක්‍රීඩාව අවසන් වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 52 ට කඩුලු 06 ක් දැවී දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියේය. ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටියේ න්කෘමා බොනර් (18) සමග ජෝශුවා ඩි සිල්වා (15) යි.

පස්වැනි දිනය වූ අද තරගය ආරම්භවීමෙන් පසු හත්වැනි කඩුල්ල සඳහා 100 ක සබඳතාවයක් පැවැත්වීමට බොනර් සහ ඩි සිල්වා සමත් වූයේ ප්‍රතිවාදීන්ගේ ජයග්‍රහණය තරමක් ප්‍රමාද කරමිනි. ලකුණු 118 දී ඩි සිල්වා ලකුණු 54 කට දැවී ගිය අතර ඉන් අනතුරුව අටවැනි කඩුල්ල සඳහා බොනර් සහ කෝර්න්වෝල් අතර ලකුණු 30 සබඳතාවයක් ඇතිවිය. 149 දී කෝන්වෝල් දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කරමින් ලකුණු 160 කට කොදෙව්වන් සියලු දෙනා දැවී ගියේය.

න්කෘමා බොනර් නොදැවී ලකුණු 68 ක් ලබා ගත් අතර බොනර් හා ඩි සිල්වා හැරෙන්නට ලකුණු 10 පසුකර යාමට සමත් වූයේ කෝන්වෝල් පමණි.

ලසිත් ඇඹුල්දෙනිය කොදෙව් දෙවැනි ඉනිමේ කඩුලු 05 ක් බිඳදැමූ අතර රමේෂ් මෙන්ඩිස්ට කඩුලු 04 ක් හා ප්‍රවීන් ජයවික්‍රමට එක් කඩුල්ලක් හිමි විය. තරගය පුරා රමේෂ් මෙන්ඩිස් කඩුලු 07 ක් දවාගත් අතර ලසිත් ඇඹුල්දෙනියට කඩුලු 06 ක් හා ප්‍රවීන් ජයවික්‍රමට කඩුලු 05 ක් හිමි විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 386 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 230 ක් පමණි. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 04 කට ලකුණු 191 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූයේ කොදෙව්වන්ට ලකුණු 348 කට ඉලක්කයක් ලබාදෙමිනි.

පළමු ඉනිමේ ශතකයක් හා දෙවැනි ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ නායක දිමුත් කරුණාරත්න තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වූ අතර ඒ් අනුව ලෝක ටෙස්ට් ශූරතා චාරිකාව ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

UN



Recommended News