මාලිගේ ලෝක වාර්තාව ශකීබ් ඩැහැ ගනී

මාලිගේ ලෝක වාර්තාව ශකීබ් ඩැහැ ගනී

18 October 2021 11:14 am

ජාත්‍යන්තර 20/20 පිටියේ වැඩිම කඩුලුලාභියාට හිමි වාර්තාව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සතුව තිබිණි. ඒ ඊයේ සන්ධ්‍යාව වන‍තෙක් පමණි.

20/20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඊයේ රාත්‍රී පැවති බංග්ලාදේශ - ස්කොට්ලන්ත තරගයේදී, ලසිත් මාලිංගගේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සමත් විය.

මේ වනවිට ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන සිටින ලසිත් මාලිංග තරග 84 කදී කඩුලු 107 ක් හිමි කරගෙන සිටි අතර ශකීබ් එම කඩුලු ප්‍රමාණය ඉක්මවා යමින් මේ වනවිට තරග 89 කදී කඩුලු 108 ක් බිඳහෙළා තිබෙනවා.

මේ වනවිට ක්‍රීඩා කරන පන්දු යවන්නන් අතරින් ශකීබ්ට පිටුපසින් සිටින නවසීලන්තයේ ටිම් සවුතී කඩුලු 99 ක් බිඳහෙළා ඇති අතර ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් කඩුල් 95 ක් බිඳහෙළා තිබෙනවා. ඔහු ඒ සඳහා ක්‍රීඩා කර තිබෙන්නේ තරග 51 ක් පමණි.

ඒ අනුව ශකීබ්ට රෂීඩ් ඛාන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වනු ඇත. බොහෝදුරට තවත් වසරක් වැනි කාලයක් තුළ රෂීඩ් 20/20 පිටියේ වැඩිම කඩුලුලාභියාට හිමි වාර්තාව ඔහුගේ නම ඉදිරියේ ලියා ගනු ඇත.

UN



Recommended News