චීනය අභිබවමින් සත්කාර ජපානය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණට

චීනය අභිබවමින් සත්කාර ජපානය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණට

25 July 2021 11:14 am

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ දෙවැනි දිනය වනවිට පදක්කම් සටහනේ පෙරමුණේ සිට චීනය පසුපසට ඇදදමින් පළමු ස්ථානය අත්පත් කර ගැනීමට සත්කාරක ජපානය සමත් වී ති‍බෙනවා. ඒ රන් පදක්කම් ‍තුනක් හා එක් රිදී පදක්කමක් හිමිකර ගනිමිනි. දෙවැනි තැන පසුවන චීනය රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන සිටී.

ජූඩෝ කිලෝග්‍රෑම් 60 පිරිමි, මීටර් 400 කාන්තා පිහිණුම් මිශ්‍ර යන ඉසව්වලින් සහ පළමුවරට මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වූ ස්කේට්බෝර්ඩ් පිරිමි ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට ජපානය සමත් වූ අතර ජූඩෝ කිලෝග්‍රෑම් 48 කාන්තා ඉසව්වේ රිදී පදක්කමද ජපානය සතු විය.

කඩු හරඹ කාන්තා, වෙඩි තැබීම මීටර් 10 වායු රයිෆල් කාන්තා, කිලෝග්‍රෑම් 49 කාන්තා බර ඉසිලීම යන ඉසව්වල රන් පදක්කම් සහ මීටර් 10 වායු පිස්‍තෝල කාන්තා සහ පිරිමි ඉසව්වල ලෝකඩ පදක්කම් දිනා ගැනීමට චීනය සමත්ව සිටී.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ටියුනීසියාව, දකුණු කොරියාව, ඉක්වදෝරය, හංගේරියාව, ඉරානය, කොසෝවෝ, තායිලන්තය යන රටවල් සහ රුසියානු ඔලිම්පික් කමිටුව නමින් තරග කරන රුසියානු කණ්ඩායම එක් රන් පදක්කම බැගින් දිනාගෙන සිටී.

UN