ඔලී රොබින්සන්ට ලබාදුන් දඬුවම ඕනෑවට වඩා පැහෙන්න යාමකි - රොබින්සන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති පෙනී සිටී !

ඔලී රොබින්සන්ට ලබාදුන් දඬුවම ඕනෑවට වඩා පැහෙන්න යාමකි - රොබින්සන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති පෙනී සිටී !

8 June 2021 08:15 pm

හිරිමල් වියේදී ඔලී රොබින්සන් සිදුකළ ක්‍රියාකාරකම් සඳහා වසර 09 කට පසු දඬුවම් කිරීමට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනය ගත් තීරණය ඕනෑවට වඩා පැහෙන්න යාමක් ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එරට ක්‍රීඩා අමාත්‍ය ඔලිවර් ඩව්ඩන් පවසා තිබෙන්නේ ලාබාල කොල්ලෙකු ලෙස ඔහු සිදුකළ වැරදිවලට මහ මිනිහෙකු වූ පසු දඬුවම් දීම එතරම් යෝග්‍ය නොවන බවයි.

පසුගිය 02 වැනිදා ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ එංගලන්ත - නවසීලන්ත ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත් ඔලී රොබින්සන් එංගලන්ත කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වෙමින් කඩුල් 07 ක් බිඳහෙළූ අතර එංගලන්ත පළමු ඉනිමේදී ඔහු පිත්තෙන් ලබාගත් ලකුණු 42 ද ජාත්‍යන්තර විචාරකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

තරගයේ පස්වැනි දිනය ආරම්භ වනවිට, ඔලී රොබින්සන් 2012 - 2013 වකවානුවේ සිය ට්විටර් ගිණුම හරහා පළකර තිබූ වර්ගවාදී අදහස් සම්බන්ධයෙන් කතාබහට ලක්විය. මෙම වර්ගවාදී අහස් පළකර තිබුණේ ඔහු හිරිමල් වියේ පසුවන කාලයේදීය.

රොබින්සන් අවසන් දිනය ක්‍රීඩා කළේද බිඳුණු මානසිකත්වයකිනි. එදින රාත්‍රියේදීම ඔහුගේ ජාත්‍යන්තර තරග දිවිය අත්හිටුවීමට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනය තීරණය කළ අතර ඒ අනුව ඔහු ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබිණි.

ඔලී රොබින්සන්ගේ ට්වීට් අතිශය පිළිකුල් සහගත සහ වැරදි බව සත්‍ය නමුත් මීට දශකයකට පමණ පෙර සිදුකළ එම වැරැද්දට මෙවැනි දඬුවමක් ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. ඔහුගේ තනහම පිළිබඳව යළිත් සලකා බැලිය යුතු යැයි අදහස් කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබෙනවා.

UN

වර්ගවාදී අදහස් ට්වීට් කළ ඔලී රොබින්සන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් චාරිකාව නිමා වෙයිද ?