ආසියාතික වාර්තාවකට හිමිකම් කියමින් ගුවන් භටයා පෝක් සමුද්‍ර සන්ධිය හරහා තලෙයිමන්නාරමට

ආසියාතික වාර්තාවකට හිමිකම් කියමින් ගුවන් භටයා පෝක් සමුද්‍ර සන්ධිය හරහා තලෙයිමන්නාරමට

11 April 2021 01:41 pm

පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට රොෂාන් අබේසුන්දර නව ආසියා වාර්තාවක් පිහිටුවා තිබේ. 

තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ බලා පිහිනා යළි ආපසු පැමිණීමට ඔහු සමත් වී තිබුණි.

ඒ සදහා ඔහු ගත කළ කාලය පැය 28 යි විනාඩි 19 ක් හා තත්පර 43 කි.

කිලෝමීටර 59 යි දශම 3 ක දුරක් ඔහු මුහුදේ පිහිනා ඇති අතර ඊයේ අලුයම 2 ට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් පිහිනීම ආරම්භ කර ඇත. 

නැවත තලෙයිමන්නාරම වෙත පැමිණ තිබුණේ අද උදෑසන 07.00ට පමණය. 
 
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මග පෙන්වීම යටතේ මෙම වාර්තාව තැබීමට ගුවන් භට රොෂාන් අබේසුන්දරට හැකි වී තිබුණි. 

මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන රොෂාන් අබේසුන්දර මේ වන විට තිස් දෙහැවිරිදි වියේ පසුවෙයි. පසුගිය මාර්තු 21 වනදා කිලෝමිටර 49 ක් පැය 23 ක් ඇතුළත මුහුදේ පිහිනා නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත් විය. 

මීට පෙර මෙම දස්කම දක්වා තිබුණේ කුමාර් ආනන්දන් නමැති පිහිනුම්කරුවෙකු වන අතර ඒ  1971 වසරේදීය. 

ඔහු පැය 51 කින් ඉන්දියාවට පිහිනා ගොස් නැවත පැමිණ තිබුණි.