ක්‍රීඩා ඇමතිගේ අවධානයට: ක්‍රිකට් කමිටුව සඳහා නිර්දේශ කිහිපයක් !

ක්‍රීඩා ඇමතිගේ අවධානයට: ක්‍රිකට් කමිටුව සඳහා නිර්දේශ කිහිපයක් !

31 March 2021 05:33 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. වත්මන් පරිපාලනයේ නිළ කාලය පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් වූ අතර ඒ අනුව වත්මන් නිළධාරීන්ට නිළවරණය දක්වා එම තනතුරුවල රැඳී සිටීමට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවට ක්‍රිකට් ආයතනයේ ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජයකින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.

අදාල පැමිණිල් නීති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ අතර නීතිපතිවරයා‍ගේ නිර්දේශය වූයේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාවකාලික කමිටුවක් පත්කළ යුතු බවයි.

කෙසේ නමුත් තවමත් එම කමිටුව පත් කිරීමට තීරණය කර නොමැති අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලා තිබෙනවා.

නිළවරණය සඳහා තවත් සති හයකට වැඩි කාලයක් තිබෙන හෙයින් ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා තාවකාලික කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සිදුවනු ඇත.

මේ අතර ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන Cricket Age වෙබ් අඩවිය ලිපියක් පළකරමින් නිළවරණය දක්වා ක්‍රිකට් ආයතනයේ කටයුතු පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කරන්නේ නම් ඊට සුදුසු හිටපු නිළධාරීන්, හිටපු ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

සිදත් වෙත්තමුනි හා රොෂාන් මහනාම හිටපු ක්‍රීඩකයන් ලෙස අදාල කමිටුවට නිර්දේශ කර ඇති අතර ආනා පුංචිහේවා, උපාලි ධර්මදාස, හේමක අමරසූරිය යන ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන්ද නිර්දේශ කර තිබේ. මීට අමතරව ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරයෙකු වූ අසංග සෙනෙවිරත්න මහතා‍ගේ නම ද නිර්දේශ කර තිබෙනවා.

මින් පරිබාහිරව නිර්දේශ කර ඇති එකම පුද්ගලයා වන්නේ ක්‍රීඩා නීතිය පිළිබඳ විශාර‍දයෙකු වන පණ්ඩුක කීර්තිනන්ද මහතායි. ඔහු ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශකවරයෙකුද වන අතර පසුගිය රජය සමයේදී ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට අදාලව ඔහු සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය.

මෙම හිටපු ක්‍රීඩකයන් හා හිටපු නිළධාරීන්ගේ නම් නිර්දේශ කරමින් 'ක්‍රිකට් එජ්' වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්‍රීඩා ඇමතිවරයා විසින් නම් කරන කමිටුවට සුදුසු පුද්ගලයන් කෙතරම් සිටියද වත්මන් පරිපාලනයේම රූකඩ කමිටුවක් වුවද පත්වීම සිදුවිය හැකි බවයි.

කමිටුව පත් කිරීම පිළිබඳව අවසන් තීරණය ගන්නා නාමල් රාජපක්ෂ මහතා, කමිටුවට සාමාජිකයන් තෝරා ගැනීමේදී, ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස මෑතකදී පත්වීම් ලැබූ ටොම් මූඩි, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්‍ බහුතරයකගේ කළමනාකරු ලෙස කටයුතු කරන චාලි ඔස්ටින් වැනි පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා නොගැනීමට පරෙස්සම් වියයුතු බවද 'ක්‍රිකට් එජ්' අවධාරණය කරනවා.

UN