IPL අප්‍රේල් 09 ඇරඹෙයි - චෙන්නායි කණ්ඩායමෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඇරයුමක් !

IPL අප්‍රේල් 09 ඇරඹෙයි - චෙන්නායි කණ්ඩායමෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඇරයුමක් !

7 March 2021 02:32 pm

2021 ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය අප්‍රේල් 09 වැනිදා ආරම්භවීමට නියමිතය. මේ වනවිට තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.‍ අප්‍රේල් 09 වැනිදා චෙන්නායිහිදී ආරම්භ වන තරගාවලිය මැයි 03 වැනිදා අහමදාබාද්හිදී අවසන් වේ.

වෙනදා කණ්ඩායම් 08 සඳහා හෝම් ග්‍රවුන්ඩ් නම්කර තිබුණද කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර තරග පැවැත්වෙන නරග ගණන 06 කට සීමා කර තිබෙනවා. සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගනවලදී පැවැත්වේ. ඒ අනුව චෙන්නායි, අහමදාබාත්, මුම්බායි, දිල්ලි, කොල්කටා, බැංගලෝර් යන නරගවලදී පමණක් තරග පැවැත්වේ.

මේ අතර තරගාවලියට සහභාගි වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට විශේෂ ආරාධනාවක් ලැබී තිබෙනවා. ඒ චෙන්නායි කණ්ඩායම සිදුකරන පුහුණුවීම්වලදී පුහුණු දැල් තුළ පන්දු යවන්නන් ලෙස කටයුතු කිරීමටයි.

ඒ සඳහා ආරාධනා ලැබී තිබෙන්නේ මහේෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ යන යොවුන් පන්දු යවන්නන් දෙදෙනාටයි. මොවුන් දෙදෙනාට ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

21 හැවිරිදි මහේෂ් තීක්ෂණ පසුගියදා පැවති අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය දිනාගත් නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ දකුණත් පිටදඟ පන්දු යවන්නෙකි. අවසාන මහ තරගයේදී සිය පන්දුවාර 02 ලකුණු 14 කට සීමා කර ගනිමින් කඩුලු 03 ක් බිඳහෙළීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය.

තවමත් 18 හැවිරිදියේ වියේ පසුව මතීෂ පතිරණ ලසිත් මාලිංගට සමාන ඉරියව්වකින් පන්දු යවන දකුණත් වේග පන්දු යවන්නෙකි. ඔහු පසුගිය යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර අබුඩාබි T10 තරගාවලියටද සහභාගි විය.

UN