කඩුලු ත්‍රිත්වලේ උණුසුම මැකී යාමටත් පෙර අකිලට පොලාර්ඩ්ගෙන් හයේ පහර සංග්‍රහයක්

කඩුලු ත්‍රිත්වලේ උණුසුම මැකී යාමටත් පෙර අකිලට පොලාර්ඩ්ගෙන් හයේ පහර සංග්‍රහයක්

4 March 2021 12:00 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් පළමු 20/20 තරගය, ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (04) අළුයම 3.30 ට ආරම්භ විය. කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබූ දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ අතර ඇන්ජ‍ලෝ මැතිව්ස් නායකයා ලෙස කටයුතු කළේය.

මෙම තරගයේදී යොවුන් ක්‍රීඩකයන් වන පැතුම් නිශ්ශංක සහ අශේන් බණ්ඩාර ජාත්‍යන්තර වරම් දිනා ගැනීම සිදු විය.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු අපරික්ෂාකාරී පිතිහරඹය දියත් කිරීම හේතුවෙන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 131 ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක තමාට ලැබුණු අවස්ථාව අපතේ නොහරිමින් පන්දු 34 කදී ලකුණු 39 ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු නිරෝෂ් දික්වැල්ල ලකුණු 33 ක් ලබා ගත් අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 ඉක්මවා යාමට නොහැකි විය.

පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායමේ ඔබෙඩ් මැක්කෝයි කඩලු 02 ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන් ඔවුන්ට සුපුරුදු අධිවේගී තරග රටාවක නිරත වූ අතර පන්දු වාර 03 ක් අවසන් වනවිට ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් විය.

සිව්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ අකිල ධනන්ජය දෙවැනි පන්දුවේදී එවින් ලෙවිස් දවා ගැනීමට සමත් වූ අතර ඉන්පසු පිටියට පිවිසියේ දැනට ජාත්‍යන්තර පිටියේ සිටින වයස්ගතම ක්‍රීඩකයා වන ක්‍රිස් ගේල්ය. 42 හැවිරිදි ගේල් වසර දෙකකට පමණ පසුව යළි කොදෙව් කණ්ඩායමට කැඳවා තිබූ අතර කෙසේ නමුත් ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීම ධනන්ජය හමුවේ දැවී ගියේ ධනන්ජයට කඩුලු ත්‍රිත්වයක් සඳහා ඉඩ හසර වෙන් කරමිනි. ගේල්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි වත්මන් කොදෙව් කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා වන නිකොලස පූරන්ගේ කඩුල්ලද දවා ගනිමින් ධනන්ජය සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේය.

කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 52 ක් ලබා සිටි කොදෙව්වන් ධනන්ජයගේ පන්දු යැවීම හමුවේ, 52/3 ක් ලෙස අසීරු අඩියකට පත් විය. ඉන්පසු ලකුණු 62 දී ලෙන්ඩල් සිමන්ස් දවා ගැනීමට වනිඳු හසරංග සමත් වීමත් සමග යළිත් තරගය විවෘත වූ අතර කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාලම හානිය සිදු වූයේ ඉන් පසුවයි.

අකිල ධනන්ජයගේ ඊළඟ පන්දුවාරයේ පන්දු 06 ටම කොදෙව් නායක කිරල් පෝලාර්ඩ් හයේ පහර 06 ක් එල්ල කළේ වාර්තා කළ කඩුලු ත්‍රිත්වයේ සතුටද මිනිත්තු කිහිපයකට සීමා කරමිනි. එම දැවැන්ත ප්‍රහාරය සමගින් කිරන් පොලාර්ඩ් පන්දු 11 කින් ලකුණු 38 ක් රැස් කළේ කොදෙව් ජයග්‍රහණය තවත් ඉක්මන් කරමිනි.

ධනන්ජයගේ ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවටද හයේ පහරක් එල්ල කිරීමට ජේසන් හෝල්ඩර් සමත් වූ අතර ඒ අනුව ධනන්ජය යැවූ පිට පිට පන්දු හතකදී හයේ පහර එල්ල කිරීමට කොදෙව් පිතිකරුවන් සමත් විය.

පොලාර්ඩ්ගේ දැවීයාමෙන් පසුව කොදෙව් පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය මදක් පහත වැටුණු නමුත් ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය යුතු හානිය සිදුව තිබිණි. කොදෙව්වන් පන්දුවාර 13.1 කදී ලකුණු 132 ක ඉලක්කය හඹා ගිය අතර ඒ සඳහා ඔවුන්ට අහිමි වූයේ කඩුලු 06 ක් පමණි. පොලාර්ඩ්ට අමතරව ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 29 ක් ලබා ගත් අතර වේගවත් ආරම්භයක් ලබාදුන් ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 26 ක් හා එවින් ලෙවිස් ලකුණු 28 ක් වාර්තා කළේය.

කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ නමුත් පොලාර්ඩ්ගේ අනුකම්පා සහගත ප්‍රහාරය හමුවේ අකිල ධනන්ජය සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 62 ක් සිය ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. වනිඳු හසරංග ලකුණු 12 ක් පමණක් ලබා දී කඩුලු 03 ක් බිඳ හෙළමින් සිය පන්දු වාර 04 සම්පූර්ණ කළ අතර යොවුන් ක්‍රීඩක අශේන් බණ්ඩාර ලකුණු 02 ක් පමණක් ලබා දෙමින් සිය එකම පන්දුවාරය ක්‍රියාත්මක කළේය.

UN