සීලරතන හිමි නිළවරණයට ඉදිරිපත් වීම දේශපාලන කුමන්ත්‍රණයක්ද ?

සීලරතන හිමි නිළවරණයට ඉදිරිපත් වීම දේශපාලන කුමන්ත්‍රණයක්ද ?

26 February 2021 01:06 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා වන නිළවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා නාමයෝජනා භාර ගැනීම පසුගිය දිනවල සිදු කෙරුණු අතර විශේෂත්වය වූයේ ඉතිහාසයේ පළමු වරට භික්ෂූන් වහන්සේ නමක් ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් සඳහා නාමයෝජනා භාරදී තිබීමයි.

ඒ අනුව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයක් සඳහා නාමයෝජනා භාරදී තිබිණි.

කෙසේ නමුත් සීලරතන හිමිගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඊට හේතුව ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව ප්‍රධාන තනතුරක් සඳහා තරග කිරීමට නම් අවම වශයෙන් පළමු පෙළ ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වීමයි. මෙම සුදුසුකම සපුරා නොතිබීම හේතුවෙන් සීලරතන හිමිගේ න‍ාමයෝජනාව ප්‍රතික්ෂේප කෙරිණි.

සීලරතන හිමි ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයක් සඳහා ඉදිරිපත් වීම හුදෙකලා සිද්ධියක් හෝ ක්‍රිකට් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නොදැනුවත්ව සිදු වූ දෙයක් නොවන බවටද ක්‍රිකට් ක්ෂේත්‍රයේ විවිධ ආරංචි පැතිර යමින් පවතී. ‍මෙම සිදුවීම, ක්‍රිකට් නිළවරණය අත්හිටුවා ඡන්දයෙන් පත්වන පරිපාලනයක් වෙනුවට අතුරු කමිටුවක් ගෙන ඒමේ ක්‍රියාවලියේ තවත් පියවරක්ද විය හැකිය.

තමා උප සභාපති තනතුරට නාමයෝජනා භාරදීම සිදු කළේ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් නොතිබියදී බව සීලරතන හිමි දැනුවත්ව සිටි බව, උන්වහන්සේ යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී තහවුරු වේ.

සිය නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සීලරතන හිමි අධිකරණයට යනු ඇති බවත් ඒ අනුව නිළවරණය පැවැත්වීම අතුරු තහනම් නියෝගයක් හරහා කල් දමනු ඇති බවත් ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැමුන් පවසයි.

ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ පවතින අඩුපාඩු, ක්‍රීඩකයන්ගේ දුර්වලතා භාවිතා කරමින් අතුරු කමිටුවක් බලයට ගෙන ඒම සඳහා පසුගිය කාලයේදී දැවැන්ත ව්‍යාපෘතියක් දියත් වූ අතර මෙයද එහිම එක් පියවරක් ලෙස සැක සිතීම අසාධාරණ නොවේ.

කෙසේ නමුත් ඉතිහාසය පුරා අතුරු කමිටු සම්බන්ධයෙන් තිබෙන අත්දැකීම එතරම් සුන්දර නොවේ. ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් බලයට පත්වන පාලකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බිඳවැටුණු ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා අතුරු කමිටුවලට බලය ලබාදුන් බොහෝ අවස්ථාවලදී සිදුවූයේ වලෙන් ගොඩ ඒම නොව තවදුරටත් ක්‍රිකට් පරිහාණියට පත්වීමයි.

යම් හෙයකින් නැවතත් අතුරු කමිටුවකට බලය පැවරුව‍හොත් නැවතත් එවැනි තත්වයක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද ?

UN