සිය කණ්ඩායම එනතුරු මාස දහයක් මෙරට සිර වී සිටි රොබ් ලුවිස්ට නිසි වටිනාකම හිමිවෙයි

සිය කණ්ඩායම එනතුරු මාස දහයක් මෙරට සිර වී සිටි රොබ් ලුවිස්ට නිසි වටිනාකම හිමිවෙයි

18 January 2021 05:15 pm

ටෙස්ට් තරගාවලියක් සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි අතර කෙසේ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එම තරගාවලිය කල්දැමීමට සිදු විය. ක්‍රීඩා කරමින් සිටි පුහුණු තරගයද අතරමග නවතා එංගලන්ත කණ්ඩායම නැවත සිය රට බලා පිටත්ව ගියේය.

කෙසේ නමුත් සිය කණ්ඩායමට සහාය දැක්වීමට පැමිණි බාමි-ආමි ප්‍රේක්ෂක රොබ් ලුවිස්ට නැවත එංගලන්තය බලා යාමට නොහැකි වූයේ හදිසි‍යේ රටවල් අතර ගුවන් ගමන් සබඳතා අත්හිටුවීම හේතුවෙනි. ඒ අනුව ඔහුට මේ දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදු විය.

මෙම වසරේ ජනවාරි මුලදී නැවත එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණෙන විටත් රොබ් ලුවිස් සිටියේ ශ්‍රී ලංකාවේය.

එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය පසුගිය 14 වැනිදා ගාල්ලේදී ආරම්භ විය. ඒ ප්‍රේක්ෂකයන් නොමැතිවයි. රොබ් ලුවිස් විශේෂ අවසරයක් ලබාගෙන හෝ ක්‍රීඩාංගනයට පිවිසීම ගත් උත්සාය පමණක් නොව ගාලු කොටු පවුර මත රැඳීසිට හෝ තරගය නැරඹීමට ගත් උත්සාහය අසාර්ථක විය. කෙසේ නමුත් පසුව ඔහුට ඒ සඳහා විශේෂ අවසරයක් හිමි වූ අතර ඔහු තනිවම ගාලු කොටු පවුර මත රැඳී සිටිමින් සිය කණ්ඩායම දිරි ගන්වනු ලොවපුර මිලියන ගණනක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි විය.

අද තරගය අවසන්වීමෙන් අනතුරුව ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්, ගාලු කොටුපවුර මත රැඳී සිටිමින් තනිවම කණ්ඩායම දිරිමත් කළ ලුවිස්ට දුරකතනය හරහා ස්තුතිය හා සුබ පැතුම් පිරිනැමීමට තරම් නිතහමානී වී තිබිණි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය සිය ට්විටර් ගිණුමේ, ජෝ රූට් දුරකතනයෙන් ලුවිස් අමතන වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

සිය කණ්ඩායම එනතුරු මාස 10 මෙරට සිරවී සිටි රොබ් ලුවිස්ට අවසානයේදී හිමිවිය යුතුම වටිනාකම හිමි වී තිබේ. මාස 10 ක් තිස්සේ ඔහු සිදුකළ කැපවීම වෙනුවෙන් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ‍එංගලන්ත නායකයාගේ මෙන්ම එංගලන්ත ක්‍රිකට් ආයතනයේද ප්‍රශංසාව ඔහුට හිමි විය. එපමණක් නොව අද ක්‍රිකට් ලෝකයටම ඔහු වීරයෙකි.

තම සගයන් පිටියේ තරග කරද්දී ක්‍රීඩාගාරයට වී කාඩ් ගසන ඇතැම් ක්‍රීඩකයන්ට රොබ් ලුවිස්, ජෝ රූට් සහ එංගලන්ත ක්‍රිකට් ආයතනය මනා ආදර්ශයකි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ වීඩියෝව

UN

වසරක් මෙරට සිරවී සිටි බාමි ආමි ප්‍රේක්ෂකයාට ටෙස්ට් තරගය නැරඹීම අහිමි කරයි