වසරක් මෙරට සිරවී සිටි බාමි ආමි ප්‍රේක්ෂකයාට ටෙස්ට් තරගය නැරඹීම අහිමි කරයි

වසරක් මෙරට සිරවී සිටි බාමි ආමි ප්‍රේක්ෂකයාට ටෙස්ට් තරගය නැරඹීම අහිමි කරයි

14 January 2021 02:53 pm

එංගලන්ත ජාතික රොබට් ලුවිස් අංක එකේ ක්‍රිකට් පිස්සෙකි, 'බාමි ආමි' එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂක හමුදාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේ එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය නැරඹීම සඳහායි.

එංගලන්ත කණ්ඩායම ඒ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු තරගයකට ක්‍රීඩා කරමින් සිටියේය.

කෙසේ නමුත් කොවිඩ් අවදානම හේතුවෙන් එම තරගාවලිය අත්හිටුවීමට සිදු වූ අතර පුහුණු තරගයද අතරමග නතර කර එංගලන්ත කණ්ඩායම ලහිලහියේ එංගලන්තය බලා පිටත්ව ගියේය.

කෙසේ නමුත් රොබට් ලුවිස්ට එම අවස්ථාව අහිමි වූයේ, රටවල් අතර ගුවන් ගමන් සබඳතා හදිසියේ අත්හිටුවීම හේතුවෙනි. සමස්ත රටම ලොක්ඩවුන් කර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී ලුවිස්ට සිය මව්බිමෙන් සැතපුම් 5400 ක් දුරින් පිහිටි දිවයිනක හුදෙකලා වීමට සිදුවිය. අවසානයේදී ඔහුට එංගලන්ත කණඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වසරකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටීමට සිදුවිය.

ඔහුගේ බලාපොරොත්තු සපුරාලමින් එංගලන්ත කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණි අතර දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. කෙසේ නමුත් පවත්නා අවදානම් සහගත තත්වය හමුවේ ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්වීමට තීරණය කර තිබේ.

රොබට් ලුවිස් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගනයට යෑමට විශේෂ අවසරයක් ලබා ගැනීමට හෝ හැකි සෑම උත්සාහයක්ම ගත් අතර ඒ සියලු උත්සාහයන් ව්‍යවර්ථ විය. අවසානයේදී ඔහු තීරණය කළේ ගාලු කොටු පවුර මත හිඳිමින් තනිවම හෝ සිය ක්‍රීඩකයන් දිරිගැන්වීමටයි. ඒ සඳහා ඔහු කොටු පවුරේ නිශ්චිත ස්ථානයක් පිළිබඳවද කලින්ම තීරණය කර තිබිණි. ඒ ගාලු කොටු පවුර මත පිහිටි ඔරලෝසු කණුව පාමුලයි.

කෙසේ නමුත් සිය කණ්ඩායම වෙනුවෙන් වසරකට ආසන්න කාලයක් මෙරට සිරවී සිටි මේ බාමි-ආමි ප්‍රේක්ෂකයාට සිය කණ්ඩායමේ දක්ෂතා සජීවීව කොටු පවුර මත සිට නැරඹීමට අවස්ථාව අහිමි විය. ගාල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන් පැමිණ ඔහුට ඉවත් වන්නැයි දැනුම් දී ඇති අතර ගාලු කොටු පවුර මත සිට කිසිදු ප්‍රේක්ෂකයෙකුට තරගය නැරඹීම සඳහා අවස්ථාව ලබා නොදෙන බව පොලිස් නිළධාරීන් පවසා තිබෙනවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර විස්තර විචාරකයන් ගාලු කොටු පවුර මත සිට සිය කටයුතු සිදු කරන අතර මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පොලීසිය පවසා තිබෙන්නේ ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අනුව එම කටයුතු සිදුවන බවයි.

තම කණ්ඩායම දිරිගැන්වීම වෙනුවෙන් වසරකට ආසන්න කාලයක් මෙරට තුළ සියලු දුක් ගැහැට විඳිමින් රැඳී සිටි රොබට් ලුවිස්ට රූපවාහිනී තිරය හරහා සිය කණ්ඩායමේ දක්ෂතා නැරඹීමට සිදුව තිබේ.

සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බව රජය පවසන අතර මේ බාමි-ආමි ප්‍රෙක්ෂකයාට ඉදිරියේදී හෝ විශේෂ අවසරයක් මත‍‍ හෝ ක්‍රීඩාංගනයට ගොස් තරගය නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ නම් එය මෙරට සංචාරක ව්‍යාපාරය පිළිබඳව ජාත්‍යන්තර වටිනාකමක් එකතු කර ගැනීමට රජයට මහඟු අවස්ථාවකි. ඒ හරහා දෙවැනි ටෙස්ට් තරගය හෝ නිදහසේ නැරඹීමට ඔහුට අවස්ථා ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

UN