කුසල් මෙන්ඩිස් බින්දු වාර්තාවට තවත් ලං වෙයි ! පිට පිට සිව්වැනි වරටත් බින්දුවයි !

කුසල් මෙන්ඩිස් බින්දු වාර්තාවට තවත් ලං වෙයි ! පිට පිට සිව්වැනි වරටත් බින්දුවයි !

14 January 2021 11:17 am

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද ආරම්භ විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළේ සිව්වැනි ඉනිමේ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගෙන් උපරිම වාසිය අත්කර ගැනීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්න මෙම තරගයට ක්‍රීඩා නොකරන බැවින් චන්දිමාල් නායකයා ලෙස කටයුතු කරයි. දිමුත්ගේ ආරම්භක පිතිකරු ස්ථානයට ලහිරු තිරිමාන්න කැඳවා තිබූ අතර කෙසේ නමුත් ඔහු නැවතත් අසාර්ථ වෙමින් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 04 කට දැවී ගියේය.

ඉන්පසු පිටියට පිවිසි, දකුණු අප්‍රිකාන සංචාරයේ අසාර්ථකම පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස්ට පිටියේ රැඳී සිටීමට හැකිවූයේ පන්දු දෙකක් පමණි. ඔහු නැවතත් බින්දුවට දැවී ගිය අතර මේ ඔහු පිට පිට ලකුණු නොලබා දැවී ගිය සිව්වැනි ඉනිමයි. දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ලබාගත් ලකුණු 12 න් පසු ඔහු මුහුණ දුන් ඉනිම හතරේදීම කිසිදු ලකුණක් වාර්තා කිරීමට අසමත් වී තිබේ.

කුසල් මෙන්ඩිස් මෙම තරගයෙන් ඉවත් කර ඇති බවට වාර්තා පළ වූ නමුත් කෙසේ හෝ ඔහුට නැවතත් අවස්ථාව හිමිව තිබේ. සන්තුෂ් ගුණතිලක, මිනෝද් භානුක, රොෂේන් සිල්වා වැනි යොවුන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සංචිතයේ සිටියදී අසාර්ථක කුසල් මෙන්ඩිස්ට දිගින් දිගටම අවස්ථාව හිමි වීම ගැටලුවකි.

ජාත්‍යන්තර තරගවලදී අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු නොලබා දැවීයාම් 25 ක් වාර්තා කිරීමේ වාර්තාවට කුසල් මෙන්ඩිස් තවදුරටත් ලංවෙමින් සිටී. ඒ සඳහා ඔහුට තවත් අවශ්‍යව තිබෙන්නේ එක් ඉනිමකදී පමණක් ලකුණු නොලබා දැවී යාමයි. දෙවැනි තරගයේදීද ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුවහොත් මෙම තරගාවලිය තුළදීම ඔහු එම වාර්තාව සිය නම ඉදි‍රියේ සටහන් කරගනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 03 ක් දැවී ලකුණු 27 ක් රැස් කරගෙන සිටී. දැවීගිය අනෙක් පිතිකරුවා වූ කුසල් ජනිත් ලබාගත්තේ ලකුණු 20 ක් පමණි.

UN