ටෙස්ට් තරගාවලිය හෙට ඇ‍රඹෙයි - ශ්‍රී ලංකා ක්‍රීඩකයො අවසන් පුහුණුවීම්වල

ටෙස්ට් තරගාවලිය හෙට ඇ‍රඹෙයි - ශ්‍රී ලංකා ක්‍රීඩකයො අවසන් පුහුණුවීම්වල

13 January 2021 11:39 am

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා ‍- එංගලන්ත ටෙස්ට් තරගාවලිය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාල තරගාවලියක් බැවින් දෙපිළටම එක සේ වැදගත් වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු 292 ක් රැස් කරගෙන සිටී. අවසන් කණ්ඩායම් 02 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන්ට මෙම තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වේ. එසේ වුවහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 412 ක් දක්වා ඉහළ යයි.

මෙම ශූරතාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි තුනක් ක්‍රීඩා කළ නමුත් එක් තරගාවලියක් හෝ ජයග්‍රහණය කිරීමට අසමත් විය. තරග 06 කදී ඔවුන් ලබාගෙන ඇත්තේ එකම ජයග්‍රහණයක් පමණි. පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු තරගාවලියද 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

එංගලන්තය සමග තරග දෙකම ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක සහ වාසනාවන්ත ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන නමුත්, මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්වන දක්ෂතා සැලකීමේදී සහ දිගින් දිගටම ක්‍රීඩකයන් අබාධවලට ලක්වීම පිළිබඳව සැලකීමේදී එංගලන්තයට වඩාත් වාසිදායක තත්වයක් නිර්මාණය වී තිබේ.

මීට පෙර අවසන් වරට එංගලන්තය ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මේ නිසා ඔවුන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා‍ම අහිමිව පළමු තරගයට මුහුණදීමට සිදුව තිබේ. අදිල් රෂීඩ් තරගාවලියට එක් නොවන අතර මොයින් අලි කොවිඩ් වෛරසය ආසාදිතව සිටින බැවින් පළමු තරගයට සහභාගි නොවේ. ඒ අනුව ජැක් ලිච්ට හා ඩොම් බේස්ට දැඩි වගකීමක් පැවරෙනු ඇත.

මේ වනවිට කණ්ඩායම් දෙකම ගාල්ලට පැමිණ ඇති අතර අද ඔවුන් සිය අවසන් පුහුණුවීම්වල නිරතවෙමින් සිටී.
UN

ඡායාරූප - රුවන්ත ගුණරත්න