ෂහීඩ් අෆ්රිඩිත් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

ෂහීඩ් අෆ්රිඩිත් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

2 December 2020 06:18 pm

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලඩියේටර්ස් කණ්ඩායමේ නායක ෂහීඩ් අෆ්රිඩි තරගාවලිය අතරතුර නැවත පකිස්තානය බලා පිටත්ව යාමට තීරණය කර තිබෙනවා. අෆ්රිඩි පැයකට පමණ පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම පවුලේ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් තමන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි.

එසේම නැවතත් සිය කණ්ඩායම හා එක්වීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසනවා.

අෆ්රිඩි මෙම තරගාවලියට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදීද ඔහුට සිය ගුවන් යානය මගහැරුණු අතර ප්‍රමාද වී පැමිණි ඔහුට සිය කණ්ඩායමේ පළමු තරගයේ සිට ක්‍රීඩා කිරීම සඳහා විශේෂ අවසරයක් ලැබිණි.

ලසිත් මාලිංග ඉවත්වීම හේතුවෙන් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ නායකත්වයට පත් වූ අතර කෙසේ නමුත් ඔවුන් සහභාගි තරග තුනේදීම පරාජයට පත්වීමට සිදුවිය. අෆ්රිඩිට සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් අවශ්‍ය තරම් සහයෝගයක් නොලැබුණු බව ක්‍රීඩාලෝලීන්ගේ පොදු මතයයි.

අෆ්රිඩි නැවත පැමිණෙන බව සඳහන් කළද එය යථාර්ථයක් වීමට තිබෙන්නේ අඩු ඉඩකි. නැවත පැමිණියද නිරෝධායන කාලසීමාවෙන් පසු ඔහු සැලකිය යුතු තරග ප්‍රමාණයකට එක්වීමට නොහැකි වනු ඇත. මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන ‍ගාල්ල කණ්ඩායමට ඔහුගේ අඩුව දැඩි බලපෑමක් වනු ඇත.

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ක්‍රීඩා කරන ඇෆ්ගන් ක්‍රීඩක අෆ්ටාබ් අලාම්ද තරගාවලියෙන් ඉවත්ව සිය රට බලා යාමට තීරණය කර ඇති බව අද දහවල් වාර්තා විය.

UN